Latest News

අපරාජිතව ඉදිරියටම යන ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම

2022 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට අපරාජිතව සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ ඊයේ (05) පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ පිලිපීන කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 99 ට 37 ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරගයේ දී අද (06) දිනයේ ප්‍රබල මැලේසියානු කණ්ඩායම සමග තරඟ වදිනු ලබනවා.

තරඟාවලියේ A කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පෙර පැවැති තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ලකුනු 102 – 14 ලෙසින් පහසුවෙන් පරාජය කරන්නට සමත්ව තිබුණා.

සුපිරි සිව්දෙනාගේ වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව මැලේසියානු කණ්ඩායම, සත්කාරක සිංගප්පූරු කණ්ඩායම, සහ හොංකොං කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම ශූරතා තරඟාවලිය 2023 දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නෙට්බෝල් ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් ලෙසට ද ක්‍රියාත්මක වනවා.

ආසියානු දැල්පන්දු ශූරතාවලිය 2022 සැප්තැම්බර් 3 සිට සැප්තැම්බර් 11 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා කණ්ඩායම් එකොළහක් සහභාගී වනවා.