කාන්තාවක් පැහැරගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට – අනියම් සම්බන්ධයක් දැයි සැකයක්
මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බද්දේගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව අද (14) පෙරවරුවේ දික්වැල්ල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය සදහා යමින් සිටිය දී මෙලෙස පැහැරගැනිමට ලක්ව ඇති බව පොලිසිය සදහන් කළා.
මොවුන් අදාළ කාන්තාව පැහැරගෙන යමින් සිටිය දී බද්දේගම පොලිස් රථවාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බද්දේගම නගරය ආසන්නයේ දී එය නවතා පරීක්ෂා කර තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගි මාර්ග පොලිසිය කරන ලද දැනුම් දීමකට අනුව යි.
එහි දී මෝටර් රථයේ පිටුපස සිටි පුද්ගලයා රථය අගුලු දමා තියුණු ආයුධයක් ගෙන කාන්තාවට තර්ජනය කර එහි රදවාගෙන සිට ඇති බව සඳහන්.
පසුව එම ස්ථානයේ සිටි පොලිස් සැරයන්වරයා අහසට වෙඩි තබා මෝටර් රථයේ පිටුපස වීදුරුව කඩා ඒ තුළ සිටි සැකකරු සහ කාන්තාව පිටතට ගෙන තිබෙනවා.
කාන්තාව හා සැකකරු කැපුම්තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර පොලිසිය විසින් මෝටර් රථය පැදවූ 23 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සැකකරුද වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසනවා.
අනියම් සම්බන්ධයක් හේතුවෙන් එම පැහැරගැනීම සිදුකර ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බද්දේගම පොලීසිය සිදුකරනවා.