Latest News

දෙවන එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු රාජකීය අවමංගල්‍ය චාරිත්‍ර අනුව සිදුවෙයි

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අදට (19) දී තිබෙනවා.

ඒ අනුව රැජිනගේ දේහයේ අවසන් කටයුතු රාජකීය අවමංගල්‍ය චාරිත්‍ර අනුව සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී වෙස්ට්මිනිස්ටර් මාලිඟාවේ සිට රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත ද ඉන් පසුව වින්ඩ්සර් කාසල් වෙත ගොස් රාජකීය සොහොන් භූමියක දේහය ආදාහනය කෙරෙනවා.

60 වසරකට පෙර බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන්ට් චර්චිල්ගේ අභාවයෙන් අනතුරුව එරට පවත්වන විශාලතම රාජකීය අවමංගල්‍ය උත්සවය ද මෙය වනවා.

මෙහිදි රාජකීයන් ද දේහය සමග පාගමනින් ගමන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුව වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙය එරට වේලාවෙන් පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව රැජිනගේ දේහය වෙලිංටන් ආක් වෙත රැගෙන යාමට නියමිත අතර එරට වේලාවෙන් පස්වරු 3.00ට දේහය පිළිබඳ අවසන් දේව මෙහෙය පැවැත්වෙන වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය බලා පිටත්වනු ලබනවා.

ඒ අනුව අවසන් දේව මෙහෙය එරට වේලාවෙන් පස්වරු 4.00ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00ට පමණ ආරම්භ වීමට නියමිතයි.

විදෙස් වාර්තා සඳහන් කලේ, අවසන් දේව මෙහෙයෙන් අනතුරුව ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහය තැන්පත් කිරීමට නියමිත බවයි.

රාජකීය සොහොන් ගැබ මෙලෙස විවෘත කරනු ලබන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයක්.

දෙවන එලිසබෙත් රැජිනගේ පියා වන 06 වන ජෝර්ජ් රජු සහ මව් රැජිනගේ දේහයන් ද එම රාජකීය සොහොන් ගැබ තුළ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව එලිසබෙත් මහ රැජිනගේ දේහය ද ඒ අසලින් මිහිදන් කිරීමට නියමිතයි.

රැජින අභාවප්‍රාප්ත වන තුරු ආරක්ෂිතව තැන්පත් කර ඇති පිලිප් කුමරුගේ දේහය ද දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සමගින් මිහිදන් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

කෙසේවෙතත් එම අවස්ථාවට සහභාගී වීම සඳහා අවසර හිමිවන්නේ දෙවන එලිසබෙත් රැජිනගේ දරුවන් සිව්දෙනාට පමණක් බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජකීය පවුලේ මුණුබුරු මිණිබිරියන් රාජකීය අවමගුල් උත්සවයකදී ගෞරව දැක්වීමක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව මුණුබුරු මිණිබිරියන් අවසන් වරට විනාඩි 15ක කාලයක් රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

මේ අතර රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලන්ඩන් නුවර ආරක්ෂාව දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.