Latest News

දැරියකට ලිංගික අපයෝජන සිදුකළ සුළු පියා අත්අඩංගුවට

වයස අවුරුදු 8ක බාලවයස්කාර දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 44 හැවිරිදි චමින්ද කුමාර නමැති මොරටුව, රාවතාවත්ත, පොල්කොටුව පාරේ නිවසක පදිංචි පෙදරේරුවෙක්.

අදාළ සැකකරු සිද්ධිය සම්බන්ධ දැරියගේ මවගේ දෙවැනි විවාහයේ ස්වාමි පුරුෂයා බවයි මොරටුව පොලීසිය සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ,

“මම ඔහු සමග මීට වසර 3කට පමණ ඉහතදී විවාහ වුණා. කලින් විවාහයේ අවුරුදු 8ක දැරියක් සහ දෙවැනි විවාහයෙන් අවුරුදු 2ක පුතෙක් මට සිටිනවා.”

“පසුගිය ඉරිදා දැරියට දහම් පාසල් යෑමට ලෑස්ති වෙන්න කිව්වා. දුව කිව්වා..’මගේ මුලු ඇඟම රිදෙනවා අම්මේ.’ කියලා. එහෙත් මගේ බලකිරීම මත දැරිය දහම් පාසල් ගියා.”

දහම් පාසල් නිමවී නිවස වෙත පැමිණ ඇති දැරිය සවස ඉංග්‍රීසි පන්තියකට ගොස් ඇති අතර එහිදී තමාගේ ශරීරයේ දැඩි වේදනාවක් ඇති බව දැරිය විසින් ඉංග්‍රීසි ගුරුවරියට පවසා තිබෙනවා.

ඒ අනුව ගුරුවරිය විසින් මවට ඒ පිළිබඳව දැනුම්දී දැරියට ප්‍රතිකාර ලබාදෙන ලෙස පවසා ඇතැයි වාර්තා වනවා.

පසුව මව විසින් දැරියව නිවසට රැගෙන ඒමෙන් පසු අසනීප තත්ත්වයට හේතු විමසා ඇති අතර එහිදී දැරිය සිදුවූ අපරාධය පිළිබඳ අනාවරණය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (21)මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.