Latest News

සමෘද්ධි දීමනාව රැගෙන ගිය වයෝවෘධ මවකගේ මුදල් කොල්ල කයි

සමෘද්ධි බැංකුවෙන් ලබාගත් රුපියල් 14,500ක දීමනාව ලබාගෙන නිවස වෙත යමින් සිටි වයෝවෘධ මවකගේ මුදල් මහමඟදී කොල්ලකා තිබෙනවා.

අදාළ කාන්තාව දෙල්දූව සමෘද්ධි බැංකුවෙන් අදාළ මුදල් ලබාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටියදි සැකකරු විසින් ඇය මුලාකර එම මුදල් කොල්ලකා ඇති බව මොරන්තුඩුව පොලීසිය සඳහන් කළා.

සමෘද්ධි බැංකුවෙන් මාස 08ක හිඟ මුදල් රැගෙන බණ්ඩාරගම කළුතර මාර්ගයේ කළුතර දෙසට පාගමනින් ගමන් කරමින් සිටියදී අදාළ කාන්තාව මෙම සිද්ධියට මුහුණදී තිබෙනවා.

ඇය පසුපසින් පැමිණ ඇති සැකකරු, “ඔය අම්මගේ අයිඩින්ටිය හරිද බලන්න කියලා සමෘද්ධි මිස් කිව්වා.” යනුවෙන් පවසා ඇතැයි වාර්තා වනවා.

වයෝවෘධ කාන්තාව සිය හැඳුනුම්පත පෙන්වනවාත් සමගම ඇය සන්තකයේ තිබූ රුපියල් 14,500 ක මුදල උදුරාගෙන ඇති අතර සැකකරු නුගගොඩ දෙසට පළාගොස් තිබෙනවා.

අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර පසුගිය කාලයේ ජීවත්වී ඇත්තේ නිවස ආසන්නයේ වෙළෙඳසැළකින් ණය පදනම මත ලබාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්.

ඒ වෙනුවෙන් රුපියල් 7,000ක මුදලක් ගෙවීමට ඇති බවද ඇය පවසා තිබෙනවා.

එම කාන්තාව සමෘද්ධි මුදල් ලබාගන්නා අවස්ථාවේදී මුදල් කොල්ලය සිදුකළ සැකකරුව ද එහි සිට ඇති අතර නමුත් ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.