Latest News

අයිස් මත්ද්‍රවය සමග “ගොරිල්ලා රංජිගේ ” මව අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාදම්පිටිය පාර කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ දී කළ වැටලීමක් අතරතුර අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකාර වයෝවෘද්ධ කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

එම සැකකාරිය සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින “කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බන්ධනාගාරගතව සිටින “රත්නම් රංජිත්” නොහොත් “ගොරිල්ලා රංජි” ලෙස හඳුන්වන පුද්ගලයාගේ මව බවට අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව වාර්තා වනවා.