Latest News

දරුවන්ගේ මරණයට හේතුවූ ඉන්දීය ඖෂධ ලංකාවට ගෙනත් නැහැ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවූ , ඉන්දීය ඖෂධ වර්ග 4 ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි සහතික වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (06) සඳහන් කළා.

මතුව ඇති තත්ත්වය යටතේ මෙම මතභේදාත්මක ඖෂධවල අවදානම ශ්‍රී ලංකාවට එල්ල විය හැකිද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කලේ,

“අපි ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් ක්ෂණිකව සිදුකළා. ලංකාවේ එවැනි බෙහෙතක් ගෙනත් නෑ කියන පිළිතුර එහිදි අපිට ලැබුණා. එහෙම ගේන්න බලාපොරොත්තුවකුත් නැහැ.” යනුවෙන්.

අදාළ ඖෂධ වර්ග භාවිතය ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන බව සඳහන් කරමින් ඉන්දියාවේ මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවන ඖෂධ 4 කට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පියවර ගත්තා.

පසුගිය ජූලි මාසයේ සිට වකුගඩු ආබාධ හේතුවෙන් ගැම්බියාවේ ළමා මරණ 66ක් සිදුවීම සහ එම ඉන්දීය සමාගම නිපදවූ, කැස්සට සහ සෙම්ප්‍රතිශ්‍යවට ලබාදෙන දියර ඖෂධ සහ එම මරණ අතර සබඳතාවක් ඇතැයි නිරීක්ෂණය වීම ඊට හේතුවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වාර්තාවෙන් පසුගියදා තහවුරුවී ඇත්තේ,මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවූ එම ඖෂධවල අනුමත ප්‍රමාණය ඉක්මවා ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් නම් සංයෝග අන්තර්ගත වී තිබූ බවයි.

අධි මාත්‍රික එම සංයෝග මගින් මිනිස් වකුගඩුවලට හානි සිදුවන බව අදාළ වාර්තාව මගින් අවධාරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ඖෂධ නිෂ්පාදන වහාම ගැම්බියාවේ වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබෙනවා.

නමුත් දැනට ගැම්බියාවේ පමණක් නීත්‍යනුකූලව අලෙවි කර ඇති එම ඖෂධ අවිධිමත් වෙළෙඳපොළ හරහා වෙනත් රටවල බෙදා හැර තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පවසන්නේ මතභේදයට තුඩු දී ඇති ඖෂධ නිපදවා ඇත්තේ, ගැම්බියාව සඳහා පමණක් බවයි.