Latest News

මව් කිරිවලත් විෂ ඇති බවට භයානක අනාවරණයක්

පළමු වරට මව් කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක සොයාගෙන ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් අනතුරු අඟවා තිබෙනවා.

ඉතාලියේ නිරෝගී මවුවරුන් 34 දෙනකුගෙන් ලබා ගත් මව් කිරි සාම්පල විශ්ලේෂණය කළ අවස්ථාවේදී ඉතාලි පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පර්යේෂණය සඳහා තෝරාගත් මෙම මව්වරුන් 34 දෙනා, දරු ප්‍රසූතිය සිදුවී සතියක් ගත වුණු මව්වරුන් බවද ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරනවා.

මෙහිදී පර්යේෂණයට සම්බන්ධ ඉතාලි විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ, “ප්ලාස්ටික් විෂ ජීවීන්ගේ සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්. ඒවා සෛලවලට බලපානවා. පිළිකා ඇති කරනවා. මව් කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යනුවෙන්.

මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5ට අඩු දිගකින් යුත් “ප්ලාස්ටික් අංශු” යි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කිරීම හේතුවෙන් පළමුවෙන් මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක හමුවූයේ සාගර ජීවීන්ගෙන් සොයාගෙන තිබුණා.

ඉන්පසු ක්‍රමක් ක්‍රමයෙන් ගොඩබිම වෙසෙන ජීවීන්ගේ සිරුරුවලින් ද මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක විද්‍යාඥයන්ට හමුවී තිබෙනවා.

මව් කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ මනුෂ්‍යයන්ගේ සිරුරුවල ද ප්ලාස්ටික් විෂ අඩංගු වන බවයි.

කෙසේවෙතත් දූෂිත ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබීමෙන් සිදුවන අවාසිවලට වඩා මව්කිරි දීමේ වාසි ඉතා විශාල බව අදාළ පර්යේෂක කණ්ඩායම අවධාරණය කරනවා.

අදාළ පර්යේෂණවල නවතම අධ්‍යයනය සමග විද්‍යාඥයින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිසා ඇති වන අවදානම් ඉස්මතු කරමින් පවතිනවා.

(එන්.ඩි.ටීවී )

 

https://www.ndtv.com/world-news/scientists-in-italy-find-microplastics-in-human-breast-milk-for-the-first-time-3416006

https://www.hindustantimes.com/world-news/microplastics-found-in-human-breast-milk-for-first-time-what-expert-suggested-101665327370927.html