ශ්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ තාවකාලික ආර්ථික පසුබෑමකට – ඉන්දීය සහකාර මහ කොමසාරිස්
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසනවා.
ඇය මෙම අදහස් පළ කලේ, මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ මගින් සංවිධානය කළ උත්සවයකදී යි.
එම අවස්තාවවේදී මහ කොමසාරිස්වරිය සිංහල බසින් සභාව ආමන්ත්‍රණය කළා.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ සහකාර මහ කොමසාරිස්වරිය සඳහන් කලේ,
“ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අනේයාන්‍ය බැඳීම ඉතාමත් දීර්ඝකාලීන එකක්. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික, සමාජයීය හා වාණිජමය බැඳීම් වෙනත් රටවල් අතර පවතින බැඳීම්වලට වඩා ඉතා ශක්තිමත් වූ එකක්. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්ව සිටියත් එම තත්ත්වය ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත්වන බව අපේ විශ්වාසයයි. රටකට යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වීම වගේ ම කැපවීමෙන් යුක්තව එම තත්ත්වයන් හට මුහුණ දීම මගින් එම ගැටලු විසඳා ගැනීම සිදුවෙනවා. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දී තිබෙනවා. ඉදිරියටත් ඒ ආකාරයෙන් ම ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබෙනවා.සංචාරක ව්‍යාපාරය නිසි අයුරින් කළමනාකරණය කිරීමෙන් පමණක් ම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික උත්තේජනය ලබන්න පුළුවන්. ශ්‍රී ලංකාව යනු ලොව සංචාරක ක්ෂේත්රයේ විශේෂ අවධානයට ලක් වූ රටක්. මෙම තත්ත්වයන් මත වුව ද මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ වැනි ව්‍යාපාරික සංගම් අභියෝග දරා ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා ලබා දෙන දායකත්වය අගය කළ යුතුයි.” යනුවෙන්.