Latest News

තිහගොඩදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුවාට තවමත් සිහිය නෑ

තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී ඉකුත් මස 27 වනදා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කල හර්ෂ් හංසක දේශාන් සිසුවාට මෙතෙක් සිහිය ලැබී නැතැයි ඔහුගේ මව ප්‍රකාශ කර තිබෙනවා.

සිසුවාගේ හිස සමීපයෙන් තැබූ වෙඩි පහර හේතුවෙන් හිසට බරපතළ තුවාල සිදුවීම නිසා මාතර රෝහලට ඇතුළත් කර පසුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

අදාළ සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ හිසට සිදුකළ තෙවන සැත්කම පෙරේදා (31) දහවල් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සිසුවාගේ වැඩිමල් සහෝදරිය වන පී.බී. සෞම්‍යා නදී සඳහන් කලේ,

“අපේ මල්ලි හර්ෂ් හංසක දේශන්ට මේ වනවිටත් සිහිය ලැබී නැහැ. ඊයේ දහවල් මල්ලිට නැවතත් සැත්කමක් කළා. මේ තුන්වන සැත්කම. අපි මේ වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. අපි හරි අසරණ මිනිස්සු. මේ වනවිට එදා වේල හම්බකරගෙන කන්න බැරි තත්ත්වෙට පත්වෙලා.අම්මයි තාත්තයි කුලී වැඩ කරගෙන තමයි ජීවත් වුණේ. දැන් ඒ දෙන්නා රෝහල ගාවට වෙලා ඉන්නවා. මම රැකියාව කළේ ඇඟලුම් කම්හලක. මටත් එදා ඉඳලා තවම වැඩට යන්න විදිහක් නැහැ. මටත් ඒ රස්සාව දැන් නැති වෙනවා. තිහගොඩ ඉඳලා මාතරටත් මාතර ඉඳලා කරාපිටියටත් උදේට දවල්ට හවසට යන්න විශාල මුදලක් වැය වෙනවා බස් ගාස්තු ලෙස. අපිට බස් එකේ යන්න පවා මේ වනවිට අපහසුයි.මල්ලි හිටපු තත්ත්වෙට පත් කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. එදිනෙදා කුලී වැඩක් කර ජීවත් වෙච්ච අපි කොහොම ද මේ වියදම් දරන්නේ. මේ වනවිටත් අසල්වාසීන්ට ණය වෙලා තමයි අපි බස් කුලිය සොයාගන්නේ. ඉතින් අපිට සාධාරණයක් කරන්න කියලා අපි ඉල්ලනවා.මල්ලි ගැන කිසි ම තොරතුරක් අපි දන්නේ නැහැ. අපිට හොයාගන්න බැහැ. වෛද්‍යවරු කියන්නේ නැහැ. වෛද්‍යවරුන්ටත් ඉහළින් ම බලපෑමක් වෙනව ද දන්නේ නැහැ අපිට හිතෙන විදිහට.අන්ත අසරණ වෙච්ච අපි තවදුරටත් අසරණ කරන්නේ නැතිව අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න.” යනුවෙන්.