Latest News

පාසලේ දරුවන්ගේ සපත්තු මහන සිංහල සර්

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාසල් දරුවන්ට අග හිඟකම් තිබීම බොහෝදුරට දක්නට ලැබෙන කාරණාවක්.

එවැනි කාලවකවානුවක තම පාසලට පැමිණෙන දරුවන්ට අමුතුම ආකාරයකට ශක්තියක් වන සුවිශේෂී ගුරුවරයෙකු පිළිබඳව මේ වනවිට මුහුණුපොතේ ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා.

ඔහු නිකවැරටිය කලාපයේ මිරිහානේගම විද්‍යාලයේ සිංහල විෂය උගන්වන මහින්ද කුමාරකන්ද මහතා යි.

මහින්ද කුමාරකන්ද මහතා පුරුද්දක් ලෙස තම පාසලට පැමිණෙන දරුවන්ට තමන්ට හැකි පමණින් උපකාර කිරීමට පෙළඹී තිබෙනවා.

ඒ මහතා දැඩි ආර්ථික අපහසුතා මැද පාසලට පැමිණෙන දරුවන්ගේ කැඩී ගිය සපත්තු නැවත භාවිතයට ගත හැකි ලෙස සකස්කර දෙන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවන බවයි වාර්තා වන්නේ.

මහින්ද කුමාරකන්ද මහතාගේ මෙම සුවිශේෂී කාර්යය ඔහු අද දිනයේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණේ මෙලෙසයි.

“පාසලේ සපතේරුවා වීමි. මා සපත්තු මැසීමට උගෙන නැත නමුදු හැකිය. දරුවන්ට උපකාරයක් ලෙස පාසලේ සපත්තු මසමි. සපත්තු මිල අධිකය. දැරිය නොහැකිය.මේ අද මැසූ සපත්තු. සතුට කිව නොහැකි තරම්ය.”