Latest News

FIFA තරඟාවලියේ ප්‍රථම වරට තරඟයක වගකීම සම්පූර්ණයෙන් කාන්තාවන්ට

මෙවර කටාර් රාජ්‍යයේ හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන
කණ්ඩායම්-අදියර තරඟයේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ප්‍රථම වරට තරඟයක වගකීම සම්පූර්ණයෙන් කාන්තාවන්ට පැවරීමයි.

ඒ අනුව පිරිමි ලෝක කුසලාන තරඟාවලියකදී විනිසුරුවරියක ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ප්‍රංශ ජාතික පාපන්දු විනිසුරුවරියක වන ස්ටෙෆනි ෆ්‍රැපර්ට් ඉතිහාසයට එක් වනවා.

ඇයට අමතරව පිටියේ දෙපස විනිසුරු රාජකාරියේ නිරත වන්නේ ද කාන්තාවන් දෙදෙනෙක්.

ඒ අනුව බ්‍රහස්පතින්දා අල් බේට් ක්‍රීඩාංගනයේ දී සහකාර විනිසුරුවන් ලෙස බ්‍රසීලයේ නියුසා බැක් සහ මෙක්සිකානු කැරන් ඩයස්මෙඩිනා සමග ෆ්‍රැපාට් පිටියේ රාජකාරියේ නිරත වනවා.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් ෆ්‍රැප්පාට් මෙලෙස සඳහන් කළා.

“ආරම්භයේ සිටම මට කණ්ඩායම්, සමාජ ශාලා සහ ක්‍රීඩකයින් විසින් සැමවිටම සහාය ලබා දෙනවා. මාව සැමවිටම ක්‍රීඩාංගනයට සාදරයෙන් පිළිගන්නා නිසා මට පිටිය ඇතුළත තවත් විනිසුරුවරයෙකු ලෙස හැඟේ. තණතීරුව මාව හැම විටම සාදරයෙන් පිළිගන්නවා.”

ස්ටෙෆනි ෆ්‍රැපර්ට් 38 හැවිරිදි වියේ පසුවනවා.

ඇය 2020 දී පිරිමි චැම්පියන්ස් ලීග් තරඟයක තීරක වූ පළමු කාන්තාව බවට පත් වූණා.

එමෙන්ම ඇය 2019 යුරෝපීය සුපිරි කුසලානයේ ලිවර්පූල් සහ චෙල්සි අතර තරඟයේ විනිසුරු ලෙස කටයුතු කරමින් ලොව ප්‍රධාන පෙලේ ක්‍රීඩා
සමාජ තරඟයක විනිසුරුවරයා ලෙස කටයුතු කළ පළමු කාන්තාව ලෙස ද ඉතිහාස ගත වී තිබෙනවා.

කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තරඟ විනිසුරු කටයුතු සඳහා විනිසුරුවරුන් 36 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් අතරේ කාන්තා විනිසුරුවරියන් තිදෙනෙකුද සිටිනවා.

ප්‍රංශයේ ස්ටෙෆනි ෆ්‍රැපර්ට්ප්‍රමුක, රුවන්ඩාවේ සලීමා මුකන්සන්ගා (Salima Mukansanga) සහ ජපානයේ යෝෂිමි යමාෂිතා (Yoshimi Yamashita) ඒ අතරට ඇතුලත් වනවා.