Latest News

ත්‍රිරෝද රථ අනතුරින් මිය ගිය රුසියානු කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නෑ

ඊයේ (01) උදෑසන ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

මියගිය කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඊයේ දිනයේ ඇය සිය සිව් හැවිරිදි දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත ඇරලවා තිබෙනවා.

කෙසේවෙතත් අදාළ කාන්තාව එහි සිට නැවත පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබෙනවා.

මොවුන්ගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බවත් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කරගන්නා තුරු කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේම රඳවා ගැනීමටත් නියමිත බවත් වාර්තා වනවා.

උණවටුන ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාව සහ එහි රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රිරෝද රථ රියදුරුගේ නොසැලකිලිමත්කමින් දුම්රිය මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

එම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය අක්‍රීය වී ඇති බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය නොකරන ලෙසට දැනුම්දී තිබුණද රියදුරු ඒ පිළිබඳව තැකීමක් සිදුනොකර දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බව වාර්තා වනවා.

අනතුරුව දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හබරාදුව පොලීසිය සිදුකරනවා.