Latest News

ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ

2022 සඳහා ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබෙනවා.

BBC විසින් හෙළිදරව් කර තිබෙන මෙම ලැයිස්තුව සඳහා මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ තම ආදරණීයයන් අහිමි වූ දහස්ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

සන්ධ්‍යා එක්නැලිගොඩ, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වනවා.

ඔහු 2010 ජනවාරි මාසයේ දී අතුරුදහන් වූ අතර, ප්‍රගීත් එක්නැලිගොඩ රජයේ ප්‍රබල විවේචකයෙකු ද වුණා.

දෙමළ කොටි බෙදුම්වාදීන්ට සිදු වූ බව කියන අපයෝජනයන් ද ඔහු විමර්ශනය කළා.

ඔහු අතුරුදහන් වූ දා සිට දෙදරු මවක් වූ සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය පතා විවිධ අරගළ සිදු කළ අතර, තම සැමියා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වගකිව යුතු බවට ඇය චෝදනා කර තිබුණා.

”මම සෑ ම අවස්ථාවක දී ම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගලයක යෙදෙන, අපහාස සහ අවලාද මධ්‍යයේ කැප වීමෙන් අභියෝග ජය ගන්නා කාන්තාවක්” යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ පවසනවා.