Latest News

නෙත්මි අහිංසාට දෙරණෙන් නිවසක්

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදුන් නෙත්මි අහිංසා වෙනුවෙන් මනුසත් දෙරණ ඉදිකළ නව නිවස ඇයට පිරිනමා තිබෙනවා.

ඒ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

2022 වසරේ පැවති 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා සමත් වුණා.

ඒ සිය ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලක මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමි කරගත් පළමු පදක්කම ලෙස ඇය දිනා ගත් ලෝකඩ පදක්කම වාර්තා අතරට එක්වුණා.

ආර්ථික අපහසුතා රැසක් මැද වුවත් ක්‍රීඩාවෙන් රටට කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් නෙත්මිට නව නිවසක් තනා දෙන්නට මනුසත් දෙරණ තීරණය කළා.

ඒ අනුව කුරුණෑගල වෙල්පල්ල ප්‍රදේශයේම නෙත්මි වෙනුවෙන් නිවසක් ඉදිකිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී යි.

වැඩ නිම කෙරුණු අංග සම්පූර්ණ නව නිවහන ගෘහ භාණ්ඩ ද සහිතව නෙත්මි අහිංසා වෙත ඊයේ (19) භාරදී තිබෙනවා.

නෙත්මි අහිංසා,

“මනුසත් දෙරණින් මට මාසිකව රු 50,000ක ශිෂ්‍යත්වයකුත් ලබාදෙනවා. ඉතින් ඒ මුදලින් මගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක ලොකු හයියක්. 2024 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව.”