සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කුඩා දැරියක්ව උසස් පෙළ සිසුවෙකු බේරා ගනියි
සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක දිවි පරදුවට තබා බේරාගත් උසස්පෙළ පාසල් සිසුවකු පිළිබඳ පුවතක් බිබිල මැදගම 17 කනුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස සිය ජීවිතය ගැන පවා නොසිතමින් අදාළ දැරියගේ දිවි ගලවා ගැනීමට සමත්ව ඇත්තේ, මැදගම අමුනේ කඳුර ජාතික පාසලේ 12 වසරේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත දිල්ශාන් සිසුවායි.
අදාළ දැරිය සිය මව සහ සහෝදරයා සමග 17 කණුව ප්‍රදේශයේ පැවති දානමය පිං කමක් සඳහා සහභාගීවීමට මැදගම -17 කණුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන් ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වීමට ගොස් තිබෙනවා.
එහිදී මව වතුරට බැස පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර ඇති අතර, දෙවනුව දියණියව එගොඩ කිරීමට යාමේදී දියණියගේ පය ලිස්සා ගොස් සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සැඩ පහරට හසුව ගසා ගෙන යන තම දියණිය බේරා දෙන ලෙස එම ස්ථානයේ සිටි කිහිපදෙනකුට අදාළ මව විසින් කෑගසා උදව් ඉල්ලා සිටියද කිසිවකුත් ඉදිරිපත්ව නොමැති බව සඳහන්.
පසුව මෙම පාසල් සිසුවා එම ස්ථානයට පැමිණ දැරිය ගසා ගෙන යන සැඩ පහරට පැන පිහිනා ගොස් ඇයව බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.