Latest News

ශ්‍රී ලංකාවේ උපත ලද මිනෝලි පෙරේරා ඕස්ට්‍රේලියාවේ තානාපති ධූරයට

ඕස්ට්‍රේලියානු රජය විසින් සිම්බාබ්වේ හි ඕස්ට්‍රේලියානු මීළඟ තානාපතිනිය ලෙස ශ්‍රී ලංකාවේ උපන් මිනෝලි පෙරේරා මහත්මිය පත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික Penny Wong අඟහරුවාදා කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese විසින් මිනෝලි පෙරේරා මහත්මියව තානාපතිනියක් ලෙස ප්‍රකාශ කර බවයි.

මිනෝලි පෙරේරා මහත්මිය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොංගෝ – බ්‍රසාවිල්, මලාවි සහ සැම්බියාවට ද අනුයුක්ත කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සමග ඇති සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ ගැඹුරු සබඳතාවක් ගොඩනැගීමට උත්සාහ කරන බවත් Penny Wong විසින් මාධ්‍යයට සඳහන් කළා.

මිනෝලි පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කරන ගෞරවනීය ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරිනියක් වන අතර විධායක අංශයේ පළමු සහකාර ලේකම්වරිය ලෙස ඇය මෑතකදී එම දෙපාර්තමේන්තුවේ සේවය කළා.

ඇය මීට පෙර බීජිං, පෝට් මෝර්ස්බි, නිව් යෝර්ක්, බුවනෝස් අයර්ස් සහ ටෙල් අවිව් හි සේවය කර තිබෙනවා.

මිනෝලි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රථම ඕස්ට්‍රේලියානු තානාපතිනිය වනවා.