මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
පළපුරුදු පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් රැසක් විශ්‍රාම ගැනීම හේතුවෙන් ජනවාරි මස පළමු වනදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ උග්‍ර හිඟයක් පවතින අවස්ථාවක වයස අවුරුදු 60 සම්පූර්ණවන නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව තිබෙනවා.
කෙසේවෙතත්, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කලේ, විශ්‍රාම ගනු ලබන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වෙනුවට එම පුරප්පාඩු පියවීම සඳහා රජය නව බඳවා ගැනීම් සිදුකිරීමට මේ මොහොතේ කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවයි.
සේවා බිඳවැටීමක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු සැලැස්මක් නොමැති බව එම මහත්මිය සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කලේ,
“වෙනත් වර්ෂවලට වැඩිය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ විශ්‍රාම යන පිරිස වැඩිවෙලා තියෙනවා. අවුරුදු 60 සම්පූර්ණ වන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අමතරව දැනට සේවයේ යෙදිලා හිටිය අවුරුදු 61, 62, 63, 64 කියන වයස සම්පූර්ණ කරපු නිලධාරීනුත් 31 වනදා විශ්‍රාම යන්න නියමිතයි. ඒ අනුව වෙනත් වර්ෂවල එක් වර්ෂයක දී විශ්‍රාම යන පිරිසට වැඩි ප්‍රමාණයක් මේ වර්ෂයේ විශ්‍රාම යනවා. මේක පවුල් සෞඛ්‍ය සේවාවට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒක මාතෘ හා ළමා සෞඛ්‍යයට බලපානවා කියන්නේ එම සේවාව බිඳවැටීමේ අවදානමක් තියෙනවා.” යනුවෙන්.