Latest News

කාන්තාවක් නීති විරෝධී ගබ්සාවක් කළ බවට අසත්‍ය තොරතුරු ලබාදුන් ගම්වාසීන්ට පොලිසියෙන් අවවාද

කාන්තාවක් නීති විරෝධී ගබ්සාවක් කළ බවට අසත්‍ය තොරතුරු ලබාදුන් ගම්පොළ, හපුගස්පිටිය ප්‍රදේශවාසීන් පිරිසකට ගම්පොළ පොලිසිය දැඩිව අවවාද කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ, අදාළ කාන්තාව දැඩිව දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් වන බවත් ඇගේ සති දොළහක කලලය ස්වභාවිකව ගබ්සා වී ඇති බවත් ය.

ප්‍රදේශවාසින් විසින් අසත්‍ය තොරතුරක් දී එම කාන්තාව සමාජය ඉදිරියේ අප්‍රසාදයට පත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

අධික ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවගෙන් ගබ්සා වූ සති දොළහක කලලයට මරණ පරීක්ෂණයක් ඉල්ලා ඇය වරදකාරිය කිරීමේ අරමුණින් ගම්පොළ හදිසි මරණ පරීක්ෂකවරයාට හා පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ප්‍රදේශවාසීන් පැමිණිලි පිට පැමිණිලි සිදුකරඇති බව වාර්තා වනවා.

මෙම කාන්තාව නීතිවිරෝධී ගබ්සාවක් කරගෙන කලලය නිවසේ සඟවා තබාගෙන ඇති බවද ඔවුන් පවසා තිබෙනවා.

තරුණ වයසේ පසු වූ ඇයගේ සැමියා යම් වරදකට බන්ධනාගාර ගතවී ඇති අතර ඔහුගේ යහපත් කල්ක්‍රියාව සලකා බලා සතියක නිවාඩුවක් ඔහුට ලබාදී තිබුණා.

සැමියාගේ පැමිණ යාමෙන් පසු ගැබ්බර වූ ඇය දරුවා රැක ගැනීමේ අරමුණින් සායනවලට හා ගම්පොළ රෝහලට නිතර ගොස් තිබෙනවා.

එමෙන්ම දියවැඩියාව සඳහා වන ඖෂධද නියමිත වේලාවට වෛද්‍ය උපදෙස් මත ලබාගෙන ඇතත් ඇයගේ දරු ගැබට සති දොළහක් සම්පූර්ණ වන විට ඇයගේ කලලය ඉබේම ගබ්සා වී ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් ඇයව රෝහල් ගත කර ඇතත් ඔවුන් මෙම කාන්තාව සැමියා නැති අතරේ වෙනත් ඇසුරකින් ගැබ්බර වී දරු කලලය නිවසේදීම ගබ්සා කරගෙන ඇතැයි පොලිසියට හා ගම්පොළ හදිසි මරණ පරීක්ෂකවරයා හට දුරකතන ඇමතුම් මගින් පැමිණිලි කර තිබෙනවා.

ඉපදී හුස්ම වැටුණු අයෙකුගේ හා අධිකරණ නියෝග මත පමණක් කෙනකුගේ මරණ පරීක්ෂණයක් සිදුකළ හැකි යැයි මරණ පරීක්ෂවරයා එම පැමිණිලිකරුවන්ට දන්වා මේ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරාවි යැයි පවසා තිබෙනවා.