“මම ඔයාව පුදුම කරනවා කියා චුටි ගේ දෑස් බැඳ පිහියෙන් ඇන්නා” – සරසවි සිසුවා පාපොච්චාරණය කරයි
තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවිය ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන පෙම්වතියට පැවසා ඇය සමග කොළඹ තුරඟ තරග පිටියට පැමිණි බව සැකකාර තරුණයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත්තේ, ඇය තමන්ට නිරන්තරයෙන් බැන වදින බවයි.
තමන් මානසික රෝගියෙක් බව පවසමින්ද තමන්ට පරිභව කරන බව සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.
2019 වසරේ සිට තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බවද තරුණයා පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ තරුණිය සමග අදාළ තරුණයා 2020 වසරේ සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබුණත් ඔහු තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව ඇයට පවසා නොමැත.
මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව තම පෙම්වතිය දැනගත් බව සැකකාර තරුණයා සිය පාපොච්චාරණයේදී පොලීසියට පවසා තිබෙනවා.
අනතුරුව ඇය තමන් සමග අමනාප වූ බවත් ආදර සම්බන්ධය නතරකළ බවත් සැකකාර තරුණයා සඳහන් කරනවා.
“ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා” යනුවෙන් ද තරුණයා පොලීසියට පවසා තිබෙනවා.
මේ අතර තම පෙම්වතිය වෙනස් වූයේ වෙනත් සම්බන්ධයක් හේතුවෙන් දැයි තමන් සොයා බැලූ බවත් ඇයට එවැනි සම්බන්ධයක් නොතිබූ බව අනාවරණය වූ බවත් සැකකාර පෙම්වතා සිය කට උත්තරයේදී පවසා ඇති බව වාර්තා වනවා.
එහිදී වැඩිදුරටත් ඝාතන සිදුවීම පිළිබඳව කට උත්තරය ලබාදෙමින් සැකකාර තරුණයා පවසා ඇත්තේ, තමන්ට අහිමි වූ ඇය වෙනත් අයෙකුට හිමිවීම වැළැක්වීමට ඇයව ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බවයි.
එමෙන්ම පසුගිය සෙනසුරාදා දිනයේ දී නැවත වරක් තමන් සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුවූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.
ඒ අනුව ඝාතන සැලැස්මේ පළමු පියවර ලෙස ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් රුපියල් 140ක මුදලකට පිහියක් මිලදී ගත් බවත් පසුව තමන් අඟහරුවාදා දිනයේ එම පිහියද බෑගයේ දමාගෙන සිය නිවසේ සිට පැමිණි බවත් එම තරුණයා හෙළිදරව් කර තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ උදෑසන පළමු දේශනයට සහභාගීවීමෙන් අනතුරුව “විශේෂ කතාවක් තියෙනවා තුරඟ තරග පිටියට යමුද කියලා මම චූටිට කිව්වා” සැකකාර තරුණයා පවසනවා.
ප්‍රථමයෙන් ඝාතනයට ලක්වූ තරුණිය එයට අකමැත්ත පළකළද පසුව තමන් බලකළ නිසා ඇය කැමති වූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.
එහිදී ඇයව පුදුමයට පත්කිරීමට අවශ්‍ය බව පවසා සැකකාර තරුණයා විසින් ඝාතනයට ලක්වූ තරුණියගේ දෑස් ලේන්සුවකින් බැඳ පිහියෙන් ගෙළට ඇන ඝාතනය සිදුකළ බව අනාවරණය වී තිබෙනවා.
එහිදී ඝාතනයට ලක්වූ තරුණිය කෑ ගසා ලේන්සුව දෑස්වලින් ඉවත්කර උදව් ඉල්ලූ බවත් එහිදී තමන් තවත් පිහි පහරක් ඇයගේ ගෙළට එල්ලකළ බවත්
එම ස්ථානයේ සිටි පිරිස් ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණේ යැයි බියෙන් තමන් එම ස්ථානයෙන් දිවගිය බවත් සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.
“පළායන මොහොතේ මම චූටි දිහා නැවතත් හැරිලා බැලුවා. ඒ මොහොතේ චූටි කිසිදු හැලහොල්මනක් නැතුව වැටිලා හිටියා.” තරුණයා එලෙස සිය වචනයෙන් පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
තමන් එම ස්ථානයෙන් කෙළින්ම වැල්ලම්පිටියට ගිය බවත් සියදිවි හානිකරගැනීම සඳහා දුම්රියක් පැමිණෙන තුරු බලා සිටියද දුම්රියක් නොපැමිණීම නිසා සියදිවි හානිකරගැනීමට දෙවරක්, කැලණි ගඟට පැන්න බවත් සැකකාර තරුණයා සිය කට උත්තරයෙන් පොලීසිය වෙත පවසා තිබෙනවා.