ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයකින් සිතුවම් කරන කාව්‍යා අංජලී
ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත සිතුවම් කිරීමේ හැකියාවක් පවතින සිසුවියක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොළොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ පදිංචි කාව්‍යා අංජලී නම් මෙම සිසුවිය දැඩි ආර්ථික අපහසුතා මැද මෙලෙස සිතුවම්කරණයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.
චිත්‍ර කලාවෙන් කලාප හා පළාත් මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබා තිබෙන ඇය, මෙලෙස අපූරු චිත්‍ර මවන්නේ බොහෝ බාධක හා අභියෝග මධ්‍යයෙයි.
දිරාපත්වූ කුඩා පැල්පතන දිවි ගෙවන කාව්‍යා, ඇයගේ මව සහ කුඩා නැගණිය සමග ජීවත් වන්නේ ඇයගේ පියා කුලී වැඩකර උපයාගන්නා සුළු ආදායමෙන්.
විදුලි සැපයුමක් පවා නොමැති නිසා රාත්‍රී කාලයට ඇය සිතුවම් කරන්නේ පොල්තෙල් පහනේ ආලෝකයෙන් බවයි වාර්තා වන්නේ.
එපමණක් නොවෙයි රාත්‍රී කාලයට ගම්වදින වනඅලි ඔවුන්ගේ ජීවිත තව තවත් දුෂ්කර තත්ත්වයකට ඇද දමා තිබෙනවා.
සිතුවම්කරණයට අවශ්‍ය තීන්ත වර්ග, චිත්‍ර පොත්, මෙන්ම අනෙකුත් උපකරණවල මිල ඉහළ යාමත් ඇයට ඇයගේ හැකියාව ඉදිරියට කරගෙන යාමට බාධාවක් වී තිබෙනවා.
ඇයගේ මෙම හැකියාවන්ගෙන් සමාජයට යම් ප්‍රයෝජනයක් ගැනීම සඳහා කවරෙකුගේ හෝ උපකාරයක් ඇයට අවශ්‍ය වනවා.
ඇයට උදව් කිරීමට හැකියාවක් ඇති අයෙක් වෙතොත් පහත දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැක.
නිමල් (ප්‍රාදේශීය වාර්තාකරු) 0756272787