ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් අනාවරණයක්
ශ්‍රී ලංකාව තුළ ළමයින් සඳහා වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
මෙහිදී එම ආයතනය පෙන්වා දෙන්නේ බොහෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ඉහළ මිල ගණන් අයකිරීම, විශ්වසනීයත්වය නොමැතිවීම වැනි කාරණා නිසා මෙරට කාන්තාවන්ට රැකියාවකට යාම ගැටලුවක් වී ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්,ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය වුණා.
අදාළ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් පවත්වා තිබුණා.
පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් බොහෝ පිරිසකට රැකියාවන් සඳහා යොමුවීමට සිදුවී ඇති බව කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ආයතනික ප්‍රතිපත්ති නොමැතිකම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමාජයේ පවතින දැඩි සම්මතයන් සහ ස්වාමියාගේ සහාය නොමැතිවීම වැනි හේතු නිසා කාන්තාවන්ට රැකියාවක නිරත වීමට බාධා පවතින බවද මෙහිදී අනාවරණයවී තිබෙනවා.
කාරක සභාව අමතමින් වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ, දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතුළු ළමාරක්ෂක සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව කමිටුව විසින් සොයා බලන බවත් ය.
ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලද සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.
ඉදිරිපත් කර ඇති යෝජනා පුළුල් බැවින්, යෝජිත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත යන යෝජිත පනත් කෙටුම්පත්වල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
ඒ අනුව එම පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
2023 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මාලාවට අදාළ කෙටුම්පත මාර්තු 08 වන දින එළිදැක්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.