මිත්තණියගේ දේපළ ගෙන ඇයට නොසැලකු රංගන ශිල්පිණියට වැඩ වරදියි
ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (15) ටෙලි නාට්‍ය නිළියක වන රුචිනි ටනාශාට නියෝග කර තිබෙනවා.
මිත්තණිය විසින් තම මිනිපිරිය වන එම නිළියට සිය ප්‍රාණ භුක්තිය තබා එම නිවස ලියා දීමෙන් අනතුරුව මිනිපිරිය වන එම නිළිය මිත්තණිය වෙත ආදරයෙන්, කරුණාවෙන් සලකා නොමැති බවත් ඒ අනුව ඇයගේ එම ක්‍රියාව ඉතාමත් අකාරුණික, ගුණමකු ක්‍රියාවක් බවට නිගමනය කරමින් රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස්දහස බැගින් දීමනාවක් මිත්තණියට ගෙවන ලෙස ද විනිසුරුවරිය විත්තිකාරිය හට නියම කළා.
මෙම නඩුවේ පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත්, අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට තීන්දුව ලබා දෙන බව විනිසුරුවරිය සඳහන් කර තිබෙනවා.
72 හැවිරිදි ජයන්ති පෙරේරා යන මිත්තණිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පී මිනිබිරියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග නිකුත් කළා.
මෙම නඩුව 2016 වසරේ ගොනු කර ඇති අතර කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දරුවන් සමග ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිනිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ නිවෙස පවරා දී ඇති බවත් එම නිවස පවරා දීමට පෙර මිත්තණිය සමග කුලුපගව ආදරෙන් සිටි විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටී ද? නොසිටී ද? යන්න පවා සොයා බැලීමට දුරකථන ඇමතුමක් හෝ ලබා දීමටවත් කාරුණික වී නොමැති බව ත් අධිකරණයේදී අනාවරණය වී ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කර තිබෙනවා.
තම මිත්තණිය හෘද රෝගයෙන් පෙළෙන බව නොදන්නා බවත් ඇය ඒ බව තමන් හට පැවසුවා නම් ඇයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වියදම් ලබා දෙන බවත් මෙම නඩුව ගොනු කරන තෙක් ඇයව මුණනොගැසුණු බවත් විත්තිකාරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව විනිසුරුවරිය සිය තීන්දුවේදී සඳහන් කළා.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා සමග නීතිඥ එස්. ජනගන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා පෙනී සිටියා.