Latest News

18ට අඩු නම් TikTok වලට සීමාවක්

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ, වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරනු ඇති.

නව හඳුන්වාදීම යටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක් ඇතුළත් කිරීමට සිදුවනවා.

කෙසේවෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන් ඉවත් වීමට හැකියාව ඇති බවත් ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ය.

TikTok අයත් සමාගමට අනුව මෙම නවතම හඳුන්වාදීම මගින් පරිශීලකයින්ට පාලනයක් සහිතව යෙදවුම භාවිතයට පහසුකම් සපයනු ලබනවා.

TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට ඔවුන් දෛනිකව TikTok යෙදවුම පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ TikTok භාවිතය සීමා කිරීමට ද හැකියාව පවතිනවා.

සමාගම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමේදී පර්යේෂකයින් හා සම්බන්ධ වී ක්‍රියා කරන බව TikTok හි විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan පවසනවා.

එමෙන්ම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ ද වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ පිරිස් TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි.

TikTok යෙදවුම සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර කැනඩාව ද පසුගිය සතියේ තීරණය කරනු ලැබුවේ, චීන සමගාමකට අයත් TikTok යෙදවුම තහනම් කිරීමටයි.