Latest News

රිදියගම සෆාරි උද්‍යානයට එක් වූ අලුත උපන් සිංහ පැටවුන්

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කලේ, සිංහ ධේනුව පසුගිය 18 වනදා මෙම පැටවුන් බිහි කළ බවත් එම පැටවුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් අනෙක් පැටවුන් දෙදෙනා මව් සිංහ ධේනුව විසින් ප්‍රතික්ෂේප කරන බවත් ය.

පැටවුන් බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

පැටවුන් සිවු දෙනා බිහි කළ මව් සිංහ ධේනුව වයස අවුරුදු 5ක් පමණ වූ සත්වයෙකු වන අතර එම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී උපත ලැබූ සිංහ ධේනුවක් වනවා.

මේ අතර මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී ඔවුන් පෝෂණය කෙරෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත මහතා සඳහන් කලේ,

“මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළදී ම උපන් අයයි. ඉතිරි සිංහයන් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයයි.” යනුවෙන්.