Latest News

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව් තරඟ තහනමක්

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරඟ කිරීම තහනම් කර තිබෙනවා.

එහි සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වනදා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරඟ සඳහා සහභාගි වීමට අවසර නොදෙන බවයි.

එමෙන්ම සංක්‍රාන්ති ලිංගික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කලේ, “අපි සදහට ම එපා කියන්නේ නැහැ,” යනුවෙන්.

කාන්තා කාණ්ඩයේ තරඟ කිරීමට පෙර මාස 12ක කාලයක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් අඛණ්ඩව ඔවුන්ගේ රුධිරයේ අඩංගු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය උපරිමය 5nmol/L දක්වා පවත්වා ගෙන, එම සීමාවේ රැඳී සිටිය යුතු බවට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ පෙර පැවති නීතිවල සඳහන් කර තිබෙනවා.

කෝ සාමිවරයා කියා ඇත්තේ, මෙම තීරණය “කාන්තා කාණ්ඩය ආරක්ෂා කිරීම යන පුළුල් මූලධර්මය අනුව ගත් එකක්,’වන බවයි.

දැනට ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා සඳහා තරඟ කරන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.