Latest News

නමට කැළැලක් නොවුණු ගේකින් වැල් මී අහුරක් අරන් එන්න

මේක බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන කතාවක්. ඔන්න කාලෙකට ඉස්සර තිස්ස
කියලා තෙරුන්වහන්සේ නමක් කැලේ මැද්දේ ගල්ගුහාවක වාසය කළාලු. හැබැයි
උන්වහන්සේ ඒ ගල්ගුහාවේ වාසය කිරීම ගැන අපැහැදුනු දේවතා පිරිසකුත් ඒ
ගල්ගුහාවේම ඉඳලා තියෙනවා. දෙවියන් අතර සම්‍යක් දෘෂ්ටික වගේම මිථ්‍යා
දෘෂ්ටික දෙවිවරුත් ඉන්න බව අපි අහල තියෙනවනේ. ඉතින් මේ මිථ්‍යා දෘෂ්ටික
දෙවිවරු පිරිස ඒ අපැහැදීම නිසා තිස්ස හාමුදුරුවන්ව ගල්ගුහාවෙන් එළවන්න
එක එක විදියේ උපක්‍රම යොදලා තියෙනවා.
ඔන්න දවසක් එහෙම උපක්‍රමයක් විදියට එක දේවතාවියක් තිස්ස හාමුදුරුවන්ට
ඇප උපස්ථාන කරපු උපාසකයෙකුගේ ඇඟට ආවේශ වුණාලු. ඊටපස්සේ ඒ
උපාසක මහත්තයාගේ අම්මා ළඟට ගිහින් කිව්වලු උඹේ පුතාට යකෙක් වැහිලයි
ඉන්නේ පුතාව බේරගන්න ඕනෑ නම් තිස්ස හාමුදුරුවන්ගෙන් වැල් මී අහුරක්
ඉල්ලගෙන එන්න ඕනෑය කියලා. හැබැයි ඉතින් ඒ කාලේ අද කාලේ වගේ බවලත්
උදවිය තනි පංගලමේ ගිහින් භික්ෂූන් වහන්සේලා මුණගැහිලා වැල් මී තියා
ඇල්පෙනෙති තුඩක දෙයක්වත් ඉල්ලන්නේ නෑ. ඒ නිසා තිස්ස හාමුදුරුවන්ගේ
නමටත් කැළලක් නොවෙන විදියට පුතාව බේරගන්න හිතපු උපාසකතුමාගේ
අම්මා තිස්ස හාමුදුරුවන්ගෙනුත් අනුශාසනා අරගෙන අන්තිමේ කොහොමහරි
පුතාව නිදහස් කරගත්තාලු.
ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් අද අපිටත් සිද්ධ වෙනවා මේ ලිපිය
කියවන්න කලින්ම වැල් මී අහුරක් හොයාගෙන එන්න කියලා ඔබට කියන්න.
හැබැයි ඉතින් අපිනම් එහෙම කියන්නේ කාටවත් අංචි අදින්න හිතාගෙන
නෙවෙයි. වැල් මී වලින් හිතේ හැටියට ලස්සන වෙන සත්කාර කිහිපයක් ගැන
කියන්නයි අපි ලෑස්ති වෙන්නෙ. ඔන්න එහෙනම් අහගන්නකෝ.
නිකැළැල් පැහැපත් සමක් ලබාගන්න ඕනෑනම් වැල් මී කුඩු එක්ක මෙන්න මේ
අඩුම කුඩුම ටිකත් මිශ්‍ර කරගන්න වෙනවා. වැල් මී කුඩු තේ හැඳි දෙකකට මී
පැණි තේ හැඳි එකක් සහ එළඟිතෙල් තේ හැඳි එකක් හොඳින් මිශ්‍රකරලා සමේ
ඇති පිළිස්සුම් තුවාලවල වගේම අනෙක් ලප කැළැල්වලත් ආලේප කරන්න

පුළුවන්. මේ සත්කාරය දිගින් දිගටම කළොත් ඔබට ළප කැළැල්වලින් තොර
පැහැපත් සමක් ලබාගන්න පුළුවන්.
සමෙහි පැහැපත් බව රැකෙන්න නම් Licorice, Glabridin වගේම Locochalcone
කියන සම පැහැපත් කරන සංඝටක අවශ්‍ය වෙනවා. ඒවා අඩංගු වැල් මී කුඩු
තේ හැඳි එකකට කහ කුඩු තේ හැඳි එකහමාරක්, සුදු හඳුන් තේ හැඳි දෙකක්
සහ මී පැණි තේ හැඳි දෙකකුත් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කිරීමෙන් නිරෝගී
පැහැපත් සමක් ලබාගන්න පුළුවන්. ඊටපස්සේ ආලේපනය විනාඩි 10ක් විතර
තබා මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරගන්න.
ඒ වගේම සම මතුපිට වූ අඳුරු ලප කැළැල් ඉවත් කරලා නිරෝගී සමක්
ලබාගන්න නම් වැල් මී කුඩු තේ හැඳි දෙකකට රෝස වතුර ස්වල්පයක්
එක්කරලා මුහුණේ ආ​ලේප කරලා විනාඩි 20කින් වගේ සෝදා හරින්න පුළුවන්.
සමට හානියක් නැතිවම සම පැහැපත් කරගන්න වැල් මී කුඩු තේ හැඳි එකකට
මී පැණි තේ හැඳි දෙකක්, දෙහි යුෂ තේ හැඳි එකක් වගේම නෙල්ලි චූර්ණය තේ
හැඳි එකක් හොඳින් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරගන්න පුළුවන්. විනාඩි 20ක්
තබා සෝදා ඉවත් කරගන්න.
ඒ වගේම වැල් මී චූර්ණය තේ හැඳි දෙකකට වැල්මදට චූර්ණයෙන් තේ හැඳි
එකක් එක්කරගෙන ඒකටම සුදුහඳුන් කුඩු තේ හැඳි එකක් දමා රෝස වතුර
ස්වල්පයක් වගේම මී පැණි ස්වල්පයකුත් එක් කරගන්න. එය සතිපතා මුහුණේ
ආලේප කිරීමෙන් සම රැළි නොවැටී රැකගත හැකියි.
දීප්තිමත් සමක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ට නම් වැල් මී කුඩු තේ හැඳි
එකකට කස්තුරි කහ තේ හැඳි එකක් වගේම රෝස වතුර ස්වල්පයක් එක්කරලා
හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරගන්න පුළුවන්. ඊටපස්සේ විනාඩි 30ක්
ඉඳලා ආලේපනය සෝදා ඉවත් කරගන්න.
ඊට අමතරව වැල් මී කුඩු තේ හැඳි එකකට රත් හඳුන් කුඩු තේ හැඳි එකක්
වගේම රෝස වතුර ස්වල්පයක් එක්කර ආලේප කිරීමෙන් ඉදිමුණ ලප කැළැල්
බහුල සමක් වුවත් සුව කරගත හැකියි.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව )

ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල