නවතම ප්‍රවෘත්ති

ඉන්දියාවේ රාණු මොන්ඩාල්ට වෙච්ච දේ ලංකාවේ යශෝදාට නොවේවා!

මේ කියන්න යන්නේ මීට අවුරුදු කීපයකට කලින් සිද්ධවුණු කතාවක්. ඒ අතිශය
ජනාකීර්ණ ඉන්දියාවේ කල්කටා දුම්රිය ස්ථානය. සුපුරුදු විදියටම එදත් රැකියාවට
යමින් සිටි අතීන් චක්‍රබෝර්ති නම් තරුණ ඉංජිනේරුවරයාට දුම්රිය ස්ථානයේ
පසෙකින් හරි අපූරු ගීතයක් ඇහුනා. ඒ භාරතීය ගීත කෝකිලාවිය වූ ලතා
මංගේෂ්කාර්ගේ ගීතයක්. ඇයගේ ළඟම රසිකයෙක් වූ අතීන්ට ඒ ගායනය
මගහැරලා යන්න හිතුණේ නෑ. ඔහු ලතා මංගේෂ්කාර්ගේ ගීතය ඇහුනු පැත්තට
ගියා. ඒ ගියාමයි ඔහු දැක්කේ ඒ ගීතය ගායනා කරන්නේ එතැන හිටපු යාචක
කාන්තාවක් විත්තිය. ඒ සැනින්ම අතීන් ක‍ළේ ඇගේ ඒ සුමියුරු ගායනය තමාගේ
දුරකතනයෙන් වීඩියෝ කරපු එක. එයින් නතර නොවී ඔහු ඒක සමාජ
මාධ්‍යයටත් මුදාහැරියා. කොහොමහරි දව‍සක් යද්දිම ඒ වීඩියෝව ඉන්දියාව පුරා
ජනප්‍රිය වුණා.
ඇයගේ වීඩියෝව එරටේ අතිශය ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් සහ සංගීත
අධ්‍යක්ෂවරයෙක් වන හිමේශ් රෂ්මියාත් බලලා තිබුණා. ඒක දැකපු ගමන්
ඇයගේ ගායන හැකියාව දැකපු ඔහුට හිතුණලු ඒ කාන්තාවට ඔහුගේ වියදමින්
ගීතයක් කරලා දෙන්න. අවසානේ ඔහු ඇය එක්ක ගීතයක් කළා. ඒක ඉන්දියාවේ
සෑහෙන්න ජනප්‍රියත් වුණා. ඒ එක්ක එච්චර දවසක් දුම්රිය ස්ථානවලට වෙලා
සිංදු කිය කියා හිටපු මේ යාචක කාන්තාව නැවතුණේ බොලිවුඩ් චිත්‍රපට පසුබිම්
ගායිකාවකුත් වෙලා. ඒ වාසනාව කැරකුනේ වෙන කාටවත් නෙවෙයි රාණු
මොන්ඩාල්ට. රාණු මොන්ඩාල් ගැන මේ වනවිටත් ඔබ දන්න බව මම දන්නවා.

රාණුගේ කතාව මතක් වුණේ මං කියන්න යන යශෝදාගේ කතාවත් හැමඅතින්ම
රාණුගේ කතාවට සමාන එකක් නිසා. රට වෙනස් වුණාට යශෝදා කියන්නෙත්
රාණු වගේම සිංදුවෙන් තම ජීවිතේ ගැටගහගත්ත තරුණියක්. රාණු දුම්රිය
ස්ථානවල සිංදු කිව්වා වගේ මේ කියන යශෝදා සිංදු කිව්වේ බස්වල. ඒත් එක
දවසක ඇගේ ජීවිතෙත් අර රාණුගේ ජීවිතේ වගේම සම්පූර්ණයෙන්ම අනෙක්
පැත්ත හැරුනා. මේ අපි කියන්නේ එතැන් සිට කතාව.
“අනේ බලන්නකෝ, එයාගේ කටහඬත් හනාගේ වගේමයි.”
“දෙයියනේ මේ හනාගේ සහෝදරියක්ද?”
“හනා තරම්ම ලස්සනට එයත් ඒ සිංදුව කියනවා.”
පසුගිය දිනවල පාරේ බස් එකක ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන හනා ශෆාගේ
‘මල් ඔංචිල්ලා’ සිංදුව කියපු තරුණියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ
වේගයෙන් සංසරණය වුණා ඔබත් දකින්න ඇති. අන්න ඒ වීඩියෝව නරඹපු
උදවිය තමයි ඒ වීඩියෝ එකට යටින් ඒ විදියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. ඒක
දැක්කා නම් ඔබට වුණත් හිතෙන්න ඇති ඒ තරුණියට කවුරු හරි අත දුන්නොත්
ඇගේ තියෙන ගායන හැකියාවත් එක්ක ගායනයෙන් ලොකු ගමනක් යන්න
පුළුවන් විත්තිය.
“මං විවාහකයි. මගේ මහත්තයා මුලින් කළේ මේසන් වැඩ. කොවිඩ්
වසංගතය ආවට පස්සේ එයාට වැඩ නැතිවුණා. ඒත් එක්ක අපි හුඟාක්
අසරණ වුණා. පස්සේ මහත්තයා රබානක් අරන් බස්වල සිංදු කියන්න ගියා. ඒ
වුණත් එයා ගැන වැරදි විදියට හිතලද මන්දා මිනිස්සු සල්ලි දීලා තිබුණේ නෑ.
එයා හවසට ආයෙත් ගෙදර ආවේ එයගේ පෙනුම දැකලා කවුරුත්ම සල්ලි
දුන්නේ නෑ කියාගෙන. පස්සේ මම මහත්තයත් එක්ක ගියා එයා කියන්නේ
ඇත්ත කියලා ඔප්පු කරවන්න. ඒ අතරේ තමයි මමත් බස්වල සිංදු කියන්න
පටන්ගත්තේ.”
යශෝදයි ඇගේ සැමියයි පහුගිය අවුරුදු කීපයම ජීවත්වෙලා තියෙන්නේ ඒ විදියට
රබාන ගහලා බස්වල සිංදු කියලා. ඊටපස්සේ කොහොම කොහොම හරි සල්ලි
ටිකක් එකතු කරගෙන ඔවුන් මයික් එකක් එක්ක JBL බෆල් එකක් ගත්තලු.
ඊටපස්සේ තමයි ඔවුන් ගීතවල පසුබිම් සංගීත (කැරකෝ) දාගෙන පුරුදු රස්සාව
අලුත්ම ආරෙකට කරන්න පටන් අරගෙන තියෙන්නේ.

“මං තමයි ගොඩක් සිංදු කිව්වේ. සමහරු සල්ලි දුන්නා. සමහරු දුන්නේ නෑ.
හැබැයි ගොඩාක් අය කිව්වා මගේ කටහඬ හරි ලස්සනයි කියලා.”
මීට දින කීපයකට උඩදිත් යශෝදා සුපුරුදු විදියටම බස් එකකට නැගලා සිංදු
කිව්වලු. එදා යශෝදා ගායනා කරලා තියෙන්නේ හනා ගයන ‘මල් ඔංචිල්ලා’ සිංදුව.
ඒ අතරවාරෙදි යශෝදාගේ ගායන හැකියාව දැකපු පුද්ගලයෙක් ඇය සිංදු කියන
හැටි වීඩියෝ කරලා ඒ වීඩියෝව සමාජ මාධ්‍යට මුදාහැරලා. ඒ තමයි බස් අස්සේ
හැඩට සිංදු කියපු තරුණියගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ කණපිට පෙරලුණු
තැන.
“ඒ වීඩියෝ එක හිතාගන්න බැරිතරම්ම ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ වෙලා තිබුණා.
ඒ එක්ක හුඟාක් අය සිංදු කියන මං කවුද කියලත් හොයන්න අරගෙන
තිබුණා. මට ඉතින් හරි සතුටු හිතුණා.”
ඇගේ වීඩියෝව චමත් සංගීත්ගේ ඇහැගැටිලා තියෙන්නේ ඒ අතරේ. චමත්
කියන්නේ දැනට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමයි
අපේ රටේ වගේම ඉන්දියාවෙත් ලොකු පෙරළියක් ඇති කරපු ‘මැණිකේ මගේ
හිතේ’ ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා.
ඒ විතරක් නෙවෙයි කාංචනා අනුරාධිගේ නාදෙන්, සඳුන් පෙරේරගේ නෑරම, දිනේෂ්
ගමගේගේ නෑසුනා, ශනුද්‍රි ප්‍රියසාද්ගේ ප්‍රියේ වගේම නිලාන් හෙට්ටිආරච්චිගේ
ලෙලෙලා වගේ ජනප්‍රිය ගීත ගණනාවක සංගීත අධ්‍යක්ෂවරයාත් චමත්. ඉතින්
යශෝදාගේ අර වීඩියෝව දැකපු ගමන්ම ඔහුට හිතුණලු ඇයට යම් උදව් කරන්න.
“ඇත්තෙන්ම ඒ ගෑනු ළමයා ගායනයට දක්ෂයි. හැබැයි මං ඇයට උදව්
කරන්න හිතුවේ ඒ නිසාවත් බස්වල සිංදු කියපු නිසාවත් නෙවෙයි. ඇය
ඇයගේ තියෙන ඒ හැකියාවෙන් වැඩක් අරගෙන ජීවත්වෙන්න මහන්සි වෙන
හැටි දැකලා. මං බස්වල සිංදු කියලා හරි ජීවිතේ දිනනවා කියන තැනට ඇය
ඇගේ ඔලුව හදාගෙන තියෙනවා. අන්න ඒ ඕනකම දැකලයි මට ඒ ළමයට
උදව්වක් කරන්න ඕන කියලා හිතුණේ.”
චමත්ගේ උදව්ව වුණේ යශෝදාට ගීතයක් කරලා දෙන එක. ඒ අනුවයි ඔහු ‘පෙම්
මල්දම්’ නමින් පසුගියදා යශෝදාට අලුත් ගීතයක් නිර්මාණය කරලා දෙන්න
කටයුතු කරලා තිබුණේ.
“ඒක ලිව්වේ තිළිනි එන්.ලියනාරච්චි. මම තමයි සංගීත අධ්‍යක්ෂණය. රූප
රචනාව අධ්‍යක්ෂණය කළේ පුෂ්පිත නිර්මාල්. මේ ගීතයේ රැප් කොටසක්

තියෙනවා. චානා කියන මල්ලි ඒ කොටස කියන්නේ. මගේ කණ්ඩායමේ හංසි
ගුණතිලක ඇතුළුව හැමෝමත් සඳුන් නිශ්ශංකවත් ආදරෙන් මතක් කරන්න
ඕන. ඒ වගේම මේ ගීතය වෙනුවෙන් සහයෝගය දුන්නු තව ලොකු පිරිසක්
ඉන්නවා. ඒ හැමෝමත් ආදරෙන් මතක් කරනවා.”
පසුගිය නොවැම්බර් 29 වැනිදා එළිදක්වපු යශෝදාගේ ගීතය මේ ලියන මොහොත
වෙනකොටත් තියෙන්නේ යූටියුබ් ට්‍රෙන්ඩින්වල. ඉතින් බස්වල සිංදු කිය කියා
ජීවිතේ හොයපු යශෝදාගේ පළවැනිම ගීතය මේ තරම් ජනප්‍රියවීම ගැන සහ මේ
ලැබුණු අවස්ථාව ගැන අපි ඇයගෙන් අහලා බැලුවා.
“අනේ මට ගොඩාක් සතුටුයි. මේක මට  තවමත් හිතාගන්න බෑ. මට මේ
වගේ අවස්ථාවක් ලැබෙයි කියලා කවදාවත්ම මං හිතුවේ නෑ. මට උදව් කරපු
චමත් අයියා ඇතුළු හැමෝටම මේ වෙලාව මං හදවතින්ම ස්තුතියි කියන්න
කැමතියි.”
මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය ගීත කිහිපය අතර ඉදිරියෙන්ම තියෙන
යශෝදාගේ ‘පෙම් මල්දම්’ ගීතය ගැන වැඩිපුරම සතුටින් ඉන්නේ චමත්. ඒ නිසා
අවසාන වශයෙන් ඔහුගේ වචනයකින්ම අපි කතාබහට සමුදෙන්න හිතුවා.
“මට කරන්න පුළුවන් පාර කපලා දෙන්න විතරයි. ඒ පාරේ ඉස්සරහට යන
එක මේ නංගිගේ වැඩක්. මං වගේ සිංදු කරන අය ඕන තරම් ලංකාවේ
ඉන්නවා. ඉතින් මම කළා වගේ ඒ අයත් තව සිංදුවක් දෙකක් මේ නංගිට
කරලා දුන්නොත් ඇයට මේ ගමන යන්න තව පහසු වෙයි. මට හරිම සතුටුයි
එයාගේ සිංදුව ජනප්‍රිය වුණු එක ගැන. මං හිතන්නේ මේ ලැබුණු තැන එයා
හරි විදියට පාවිච්චි කළොත් ආයෙමත් එයාට බස්වල සිංදු කියන්න
උවමනාවක් වෙන්නේ නැතිවෙයි.”
ඉතින් මෙතැනින් තවත් ඉදිරියට ගිහින් යශෝදාට දවසක රටේම ආදරය
දිනාගන්න පුළුවන් වෙන්න කියන එකයි අපෙත් පැතුම. හැබැයි ඒ ගමනේ යශෝදා
නිහතමානී ගුණය රැකගෙන ඉදිරියට ගියොත් තවත් හොඳයි. මොකද ජනප්‍රිය
වෙද්දි නිහතමානීකම අමතක කරපු ගොඩාක් අයට මුලයි මැදයි හරි ගියාට අග
වැරදුනා. හොඳම උදාහරණය තමයි මේ ලිපිය පටන්ගද්දිම අපි කියපු රාණු
මොන්ඩාල්. ඇගේ පැත්තට කොයිතරම් වාසනාව කැරකුණත් නිහතමානී ගුණය
අමතක කරපු නිසා දැන් ඇය ආයෙමත් හිටපු තැනටම වැටිලා. ‘යශෝදාට එහෙම
නොවේවා’ කියලයි අපි පතන්නේ.

රුවන් එස්.සෙනවිරත්න