නවතම ප්‍රවෘත්ති

මයිකල් ජැක්සන් City of Dreams ආවා වාගෙයි…

නොවැම්බර් 8 සහ 9 දෙදින ප්‍රසංගයට වෙන්විය. මා එහි ගියේ දෙවන දිනයේදීයි. එතැන මැවුණේ වෙනස්ම චිත්‍රයකි. සාමාන්‍යයෙන් වෙනත් ප්‍රසංගයක දී දක්නට නොලැබෙන වෙනස්කම් එහි තිබිණ. නරඹන්නන් අතරින් බොහෝ දෙනා මයිකල්ගේ ඇඳුම් විලාසිතාවන්ට සමීප ලෙස අඳින්නට පළඳින්නට උනන්දු වී සිටියහ. ඇතැමුන් ඔහුගේ ඇඳුම් විලාසිතා ඒ අයුරින්ම අනුකරණය කර තිබිණ. ඒ අතරින් පොඩ්ඩන් විශේෂිතය. මයිකල්ට අනන්‍ය කළු පැහැ දෙපස දිලිසෙන රිදී පැහැ තීරුව සහිත කලිසම ද, ඊට ගැලපෙන ජැකට්ටුව සහ හිස් වැසුමෙන්ද පුංචි රසික රසිකාවෝ සැරසී සිටියහ. ඇතැම් වැඩිහිටියන් ද එලෙසය. මයිකල් පළඳින ආකාරයේ හිස් වැසුම් තැනින් තැන දකින්නට ලැබිණ. බොහෝ දරුවෝ මයිකල් සේම දිලිසෙන අත් වැස්මක් ද පැළඳ සිටියහ. සිය ‘Beat it’ ගීතයේ දී මයිකල් ඇඳි ෂිපර් කිහිපයක් සහිත රතු පැහැ ජැකට්ටුව ද තැනින් තැන දකින්නට හැකි විය.

 

අති සාර්ථක පළමු ප්‍රසංගයට පසු පැවති දෙවන ප්‍රසංගය සඳහාද පැවතියේ දැඩි උද්යෝගයකි. ප්‍රේක්ෂකාගාරය ද අපූරුය. එහි කිසිදු භේදයක් නොවීය. විවිධ ජාතීන්, විවිධ වයස්, විවිධ රැකියා, විවිධ විලාසිතා සහිත අයගෙන් එය විචිත්‍රවත් වී තිබිණ. නීති විදුහලේ විදුහල්පති ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, ලෝක විවාහක රූ රැජින අනුශූරතාව දිනූ ඉෂාදි අමන්දා, විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, දරුවන් ආදී එකිනෙකට වෙනස් ජීවන රටා ඇති අය වුවද ඔවුහු එකම අරමුණකට රැස්ව සිටියහ. අවුරුදු තුන හතරේ දරුවන්ගේ සිට වාරුවක් නොමැතිව ගමන් කළ නොහැකි වැඩිහිටියන් දක්වා පරම්පරා ගණනාවක ප්‍රේක්ෂකාගාරය තහවුරු කළේ මයිකල් සර්වකාලීන බවයි.

 

ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී යද්දී ප්‍රසංගය ආරම්භ වීමට සියල්ල  සූදානම් බව නිවේදනය කෙරිණ. නියමිත දෙහෝරාවේ පළමු තත්පරයේ සිටම එය ග්‍රහණය කරගැනීමට ප්‍රේක්ෂකයෝ සැරසුණහ. වාද්‍ය වෘන්දය වේදිකාගත වීමෙන් පසු ලෙනී එහි පැමිණ සිය හඬ අවදි කළේ රසික රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදිනි.

 

“ආයුබෝවන්! කොහොමද?” යනුවෙන් සිංහලෙන් ප්‍රේක්ෂකාගාරය ඇමතූ ඔහු, මේ සුන්දර රාත්‍රිය විඳ ගැනීමට පැමිණීම ගැන ඔවුන්ට තුති පිරිනැමීමට ද අමතක නොකළේය.

 

“මේ රාත්‍රියේ අපි ඔබව ගමනක් ගෙනියන්නයි හදන්නෙ. සංගීතයේ, මායාවේ ගමනක්. ආදරයේ ගමනක්. ඒකට මට ඔබ හැමෝම අවශ්‍යයි, මා එක්කම ගයන්න, නටන්න. අපිට එය එක්ව කළ හැකිද?” යැයි ලෙනී අසද්දි ප්‍රේක්ෂකාගාරය ඊට ඒකමතිකව අනුමැතිය ලබාදුන්නේය. ඔහු සහ ඔහුගේ නර්තන කණ්ඩායම ඉතා ජව සම්පන්න ලෙස ‘They don’t care about us’ ගායනා කළේ අතරමගදී ශ්‍රී ලංකා ජාතික ධජය ද ප්‍රදර්ශනය කරමිනි. එය මිමිණූ කෙනෙකු නැති තරම්ය. ඔහුගේ වාද්‍ය වෘන්දය ද අපූරුවට සිය කාරිය කළේය. ආරම්භයේ සිටම ආලෝකය, ශබ්ද පරිපාලනය ආදී කිසිවක අඩුවක් දක්නට තිබුණේ නැත. ‘Wanna be starting something’ ගැයූ ලෙනී, මඳකට වේදිකාවෙන් ඉවත්ව යද්දී ඔහුගේ සංගීත කණ්ඩායම, මයිකල්ගේ අතිශය ජනප්‍රිය ‘Don’t stop till you get enough’ ගැයුවේ ප්‍රේක්ෂකාගාරයම පාහේ ගැයුමට එකතු කරගනිමිනි.

 

මයිකල් ජැක්සන් මුලින්ම වේදිකාවට ආවේ සිය සහෝදරයන් සමග පුංචි සන්දියේදීමයි. ඒ, ‘Jackson 5’ නමිනි. ලෙනී එහි ගීත කිහිපයක් එක පෙළට ගැයුවේ දශක කිහිපයක් ඈතට මතකය ගෙනයමිනි. නැවතත් ලෙනී මඳ වේලාවකට සමුගනිද්දී, එහි අඩුව දැනෙන්නට ඔහුගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ඇතුළු සෙස්සෝ ඉඩ නොදුන්හ. තල්මසකු සහ කුඩා දරුවකුගේ වීඩියෝව සමගින් ලෝකයම පාහේ ආදරයෙන් වැළඳගත් ‘Will you be there’ ඔවුන් ගැයුවේ පැමිණි සියල්ලන් සංවේදි කරමිනි.

 

නැවතත් වේදිකාවට පැමිණි ලෙනී මයිකල්ගේ නර්තන රටා සිහිගන්වමින් අතිශය ජනප්‍රිය ‘Human Nature’ ගැයුවේය. අනතුරුව ඔහු ‘You are not alone’ ගයද්දී ඔහු තනි නොකළ රසික රසිකාවෝ ඊට ගායනයෙන් සහය දුන්හ.

 

මයිකල්ගේ නිර්මාණ බොහොමයක් විවිධ අධ්‍යයනයන් සහිතය. ඔහු ආවාට ගියාට නිර්මාණ නොකළේය. ඒ සෑම එකකටම පාහේ කතාවක් තිබිණ. ඒ හැඟීම අපුරුවට වේදිකාගත කිරීමට ලෙනී ජේ සමත් වූයේය. සුවිශේෂ රංග වින්‍යාසයක් සමග ‘Smooth Criminal’ ඔහු වේදිකාවට ගෙනාවේ සිය නර්තන කණ්ඩායමේ ද සහය ඇතිවයි. ගුරුත්වාකර්ෂණයට එරෙහිව අංශක 45 ක් පොළවට ආනත වෙමින් කරන මයිකල්ගේ සුප්‍රසිද්ධ නර්තන ඉරියව්ව (anti- gravity lean) ඇතුළත් වන්නේ මෙම ගීතයේය. ලෙනී ජේ ප්‍රමුඛ කණ්‌ඩායම එය ද මයිකල් හා සමානව ඉදිරිපත් කළේ ප්‍රේක්ෂකයින් මවිත කරවමිනි.

රෂ්නිකා ලියනගේ

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න