විශේෂාංග

අපි ස්නෝවි හොය හොයා පාන්දර තුනටත් මහ කැලේ පීරුවා

ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රසාද් පේරවත්තටත් නිරෝෂා දිසානායකටත් මුල්ම පත්වීම් ලැබුනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල් දෙකකටය. ඉගෙනීම අවසන් වෙනතුරු සතුන් හැදීමට විරාමයක් තබා සිටි ඔවුන් දෙදෙනා නැවතත් සතුන් ගෙදරට ගේන්නේ විවාහයෙන් පසු 2019 වසරේය. ඒත් ප්‍රසාද් නම් කියන්නේ ඊට පෙරත් විශ්වවිද්‍යාලයේදී ඔවුන් සතුන් බලා කියාගත් බවයි.

‘‘විශ්වවිද්‍යාල භූමියේ බල්ලෝ පූසෝ හිටියා. සත්තුන්ට ආදරේ අපි කට්ටිය එයාලට කන්න බොන්න දීලා නාවලා බලාගත්තා. නිරෝෂා ඒ කාලේ හොස්ටල් එකේ හිටපු පූස් පැටියෙක් වරකාපොල එයාගෙ ගෙදරත් අරන් ගියා. එයාගේ පැටියෙක් එහෙ හිටියා ‘චූටි පූස්’ කියලා. හරිම හුරතල් හරිම ලස්සනයි. පස්සෙ කාලෙක කවුරුහරි චූටි පූස්ව හොරකම් කරලා තිබුණා. ඒ දැනිච්ච දුකට වේදනාවට ආයේ කවදාවත් පූස්ලා හදන්නෙ නෑ කියලා මමයි එයයි හිතාගෙන හිටියෙ.’’

ප්‍රසාද්ගේත් නිරෝෂාගේත් ඒ අදහස වෙනස් කළේ නුවරඑළිය රෝහලේ සාත්තු සේවකයෙකු ගෙදර ගෙනයන්නට ළඟ තබාගෙන සිටි සුරතල් පූස් පැටවාය. රෝහලේම කාන්තාවකගෙන් ඉල්ලාගෙන සිටි ඒ පූස් ඔහු ආදරෙන් රැක බලා නොගනීවි කියා ප්‍රසාද්ගේ හිතේ ලොකු සැකයක් ඇතිවුණේය.

‘‘හින්දා මං ඒ පූස් පැටියා ඉල්ලගත්තා. එක දවසක් හරි ගෙදර තියාගෙන කවුරු හරි හොඳ කෙනෙක් හොයලා දෙනවා කියලා හිතලා. මොකද නිරෝෂා කැමති වුණෙත් නෑ ආයේ පූසෝ හදන්න. එදා මුළු රෑම ඒ පූස් පැටියා ඇඬුවා. ඉතින් පහුවදා මම පූස් පැටියාව ඇටෙන්ඩන්ට දුන්නා කියන කාන්තාව හම්බවෙලා ඇහුවා එහෙ තව පැටියෙක් ගන්න නැද්ද කියලා මෙයාට තනියට ගේන්න. කොහොමහරි ඊට පහුවදා අර කාන්තාවගේ ගෙදරින්ම පුංචි පූස් පැටියෙක් ගෙනාවා. මුලින්ම වින්ඩි. ඊටපස්සෙ මැක්ස් දෙන්නා ගෙදර ආවෙ එහෙමයි.’’

ආයෙත් ජීවිතේට පූසන් හදන්නේ නෑ කියමින් දස අතේ හිතට පොරොන්දු වී තිබියදී මුලින් ගෙදරට ආ වින්ඩි ප්‍රසාද්ගේත් නිරෝෂාගේත් හිත් යට වළලා තිබූ ‘පූස් සෙනෙහස’ ගොඩ ගත්තාය. ඒ නිසා වින්ඩිට ඒ නිවසේ හැමදාම ඉන්නට පුළුවන් වුණා වගේම තනියට සහෝදරයා වූ මැක්ස්වද ලැබුණි. ඒ විතරක් නෙවේ ඒ දවස්වලම පුලුන් ගුලියක් වන් ස්නෝවිත් ගෙදරට ආහ.

‘‘මෙයාලට උදේ කෑම හදලා තියලා යනවා. දවල්ටත් නිරෝෂා ඇවිත් බලනවා. ලී කුඩු දාපු ට්‍රේ එකක් තිබ්බාම ඒකට හුරුවුණ හින්දා ක්වාටස් එක ජරා කළේ නෑ.’’

එහෙම ඉන්නා අතරතුර මේ දෙදෙනාගේ පූස් සෙනෙහස ගෙදර පූසෝ අටදෙනෙකු වනතෙක් දුර ගියේය. දෙදෙනාම රැකියාවට යන තැනක පූසන් අටදෙනෙකු බලා කියාගැනීමත් තරමක අසීරු දෙයකි. උදේ ගෙදරින් ගොස් හවස එන ගමන් හැර දිගු ගමන් බිමන් කොහේවත් ඔවුන් ගියේ නැත. එහෙම ගියානම් ඒ නිරෝෂාගේ ගෙදරය. ඒත් දින දෙක තුනක් එහි නවතින්නට යන කල මේ අයත් සියල්ලෝම කාරයට නංවාගෙන ගෙන යෑම සිදුවුණේය. ටික කාලයකින් මේ පූස් ළමයින් ද ඒ ගමන් බිමන්වලට හුරුවුණහ. සමහරක් ගියේ කූඩවලය. සමහරක් කාරය තුළ නිදැල්ලේ ගියහ. වෙනකක් තබා ගෙදර යන්නට කාරයට දැමූ කල්හී කූඩාවල නොයන අය කාරයේ එක එක තැන්ද පුරුදු කරගෙනද සිටියහ. ඒ විදිහට ගෙදර යද්දී ස්නෝවි හැමදාමත් ගියේ කාරයේ පිටුපස අසුනට උඩින් ඇති තට්ටුව මතය. දොරවල් ඇරියා කියා එළියට නොඑන ස්නෝවි ගෙදර ගියාට පසු කාරයෙන් එළියට ගන්නේද බොහෝ අමාරුවෙනි. ඒත් පසුගිය මාසයේ දිගු නිවාඩුවට වරකාපොල ගෙදර ගොස් එද්දී සිදුවූයේ නොසිතූවකි. දවල් 11.30ට පමණ මැක්ස් නොනවත්වා කෑ ගහන නිසා කාරය නවතා දොර හැරි මොහොතේ ස්නෝවි කාරයෙන් එළියට පැන්නාය.

‘‘මම එයාව අල්ලගන්න හදනකොටම කාර් එකේ යටට ගියා. ඒත් එක්කම හයියෙන් හෝන් කරගෙන කන්ටේනර් එකක් ගියා. ඒකට බයවුණ ස්නෝවි එතැන තිබ්බ කැලෑවට දිව්වා. මං එයා පස්සෙන්ම ගියත් කොහෙද ගියේ කියලා හොයාගන්න බැරි වුණා. නම කිය කිය කතා කළත් එතැන තියෙන ගඟේ සද්දෙයි පාරෙ වාහන සද්දෙයි එක්ක අපි කතා කරනවා එයාට ඇහෙන්න නෑ. අවිස්සාවේල්ල නුවරඑළිය පාරේ 37 කණුව. අපි දන්න කියන කෙනෙක් තියා පැත්ත පළාතක ගෙයක් දොරක් මනුස්සයෙක්වත් නෑ. දර ලොරියක ආව කෙනෙක් අපේ කතාව අහලා ඒ කිට්ටුව තිබ්බ පවර් හවුස් එකේ මුරකුටියෙ හිටපු නිශාන්ත අයියව අපිට මුණ ගැස්සුවා. එයාට කතාව කිව්වම එයා උදව් කළා. ඒත් රෑ එකොළහ වෙනකල් ස්නෝවි හොයාගන්න බැරිවුණා. ඒ අතරේ අපි ඩිහාරා ප්‍රනාන්දුගෙ මැසෙන්ජර්වලට පණිවිඩයක් තිබ්බා ස්නෝවි හොයාගන්න උදව් ඉල්ලලා. එයා පෞද්ගලිකව උපදෙස් දුන්නා. අපි 11.30ට විතර තලවාකැලේ ගෙදර ආවා. ඒ ඇවිත් වාහනේ හිටපු සත්තුන්ට කන්න දීලා එයාලා ගෙදර තියලා ආයෙත් පාන්දර පහ වෙනකොට එතෙන්ට ගියා.’’

ඒ වනවිට වාහන සද්ද අඩුවී තිබුණද ගඟ ගලන ශබ්දය වැඩියෙන් ඇසුණි. උදේ නවය වෙනතුරු ස්නෝවි සෙවූ ප්‍රසාද් හා නිරෝෂා කැලේ වටෙන් ගොස් ඒ අවට ගෙවල්වල අයද දැනුවත් කළහ. ස්නෝවි ඉන්නා බවට කිසිඳු සලකුණක් නැතත් දමා යන්නට බැරිකමින් එදා පාන්දර තුන වනතුරුත් ඔවුන් දෙදෙනා ස්නෝවිට අඬ ගසමින් බලා සිටියහ. විටින් විට නිශාන්තගේත් උදව් ලද අතර බය, නිදිමත, කළුවර මෙන්ම කැලේ අනතුරුදායක සත්තු ගැනද සියල්ල ඔවුන්ට අමතක වී තිබුණි.

එදාද හෝඩුවාවක් නොලැබුණු නිසා ඔවුන් පහුවදා නැවතත් කැලෑව අසලට ගියහ.

‘‘පහුවදා දවල් අපි ගියෙ නෑ. ඊට පසුදාට එළිවෙන පාන්දර තුනට විතර එතැනට ගියා. යද්දී ස්නෝවිගේ යාලුවා ෆැටීවත් එක්ක ගියා. අපි නම කියා කතා කරන වාරයක් ගානේම ෆැටීත් කෑ ගසමින් උදව් කළා. පැටීගේ කටහඬ ඇහුණම ස්නෝවි කැලේ උඩ සිට ඒ හඬට කතා කළා. අපි දෙන්නට හරියට හුස්ම ගන්න ඒක ඇතිවුණා. ඒත් ළඟට ආවෙ නැහැ. මං පහළට ගිහින් නිශාන්තට දීලා තිබ්බ Cat Food පැකට් එක ගෙනාවා. එතකොටත් එයා නිරෝෂා ළඟ. මගෙ අඩි හඬට ආයෙ දිව්වා. පස්සෙ මං නිශාන්ත එක්ක පහළම හිටියා. කොහොම හරි ආයේ ළඟට ගෙන්නගෙන ඈත ඉඳලා අතින් කන්න දීලා ටික ටික ළංවෙලා නිරෝෂා ස්නෝවි අල්ල ගත්තා. ඒ අල්ලා ගත්තත් වාහනයට එනකොට ශබ්දවලට බයවෙලා පනින්න හැදුවා. වාහනයට දාගත්තට පස්සෙ නම් බොහෝම සතුටින් එයාගේ ප්‍රියතම තැනට වුණා.’’

සත්තුන්ට ඇල්මක්, සෙනෙහසක් නැති අයෙකුට නම් මෙවන් කතා බොහෝවිට විහිළුවක් විය හැකිය. නමුත් සතුන් ඇති කරන්නේ ඔවුන්ගෙන් ලැබෙන මානසික තෘප්තිය දන්නා අයවලුන්ය. එවැන්නෙකුට සතුට, සැනසීම දෙන සුරතලෙකු ඔවුන්ගේ ජීවිතය හා සම වනවාට සැකයක් නැත.

බියංකා නානායක්කාර