විශේෂාංග

ඩෝරා හිතාගෙන ඉන්නෙ මම එයාගේ තාත්තා කියලා

රිදියගම සෆාරි උද්‍යානයේ මේ දිනවල ජනප්‍රියම මාතෘකාව වී ඇත්තේ ‘ඩෝරා’ය. ලාරාගේත්, චණ්ඩිගේත් දරුවෙකු වන ඩෝරා අප්‍රිකානු වර්ගයේ සිංහ පැටවියකි. සෆාරියේ ඉපදුණු හතරවැනි පරම්පරාවේ අටවැනි සිංහ පැටවිය වන ඩෝරා ඉපදෙන්නේම ජීවිතය ගැන බලාපොරොත්තුවක්වත් තැබිය නොහැකි තරමට දුර්වල තත්ත්වයෙනි. ඒත් එහෙමයි කියා ඩෝරා අත් නොහැරි රිදියගම සෆාරියේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ඇතුළු පිරිස ඈ උපන් හැටියේම වාගේ ඒ ජීවිතයට හුස්ම පිඹින මෙහෙයුමක් පටන්ගත්තේය.

‘‘එයා දුර්වල තත්ත්වයෙන් ඉපදුණු හින්දා අම්මගෙන් වෙන් කරලා තමයි හදන්න ගන්නෙ. ඒ වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ අත්දැකීම් බහුල පැටවුන් රැකබලා ගැනීමේ ඒකකයේ අරුණසිරිව අපි ගෙන්වාගත්තා. එයත් මමත් මාස එකහමාරක් තිස්සේ නිදිමරාගෙන පුංචි ඩෝරට කිරි පෙව්වා. ඒ මුල් දවස් ටිකේ අපි දුන්නෙ කොලෙස්ට්‍රම්. මෙවැනි අම්මා නැතුව හැදෙන පැටවුන්ටම දෙන්න අපි කෘතිම කොලෙස්ට්‍රම් පිටරටින් ආනයනය කරලා තියෙන්නෙ. පැය දෙකෙන් දෙකට මිලිලීටර් හත ගානෙ දුන්න කොලෙස්ට්‍රම් ඊටපස්සෙ පැය දෙක හමාරට තුන හමාරට වගේ වැඩි කළා. ඊටත් පස්සෙ මාසයක් යනකම් දවසට හත් අට වතාවක් කිරි පෙව්වා. ඒත් එක්කම ඩෝරට සංකූලතා ගොඩක් ආවා. ඒ වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ වර්ග වගේම ඔක්සිජන් පවා දෙන්න වුණා. ඊටපස්සෙ ටික ටික එයා ලොකු වුණා.’’

ඒ ලෙසින් ඩෝරා ටික ටික ලොකු වූයේ පශු වෛද්‍ය ප්‍රියසාද්, හර්ෂ සේම සෆාරියේ සැමගේම අවධානය මැද්දේය. ජීවත් වේදැයි සැකයෙන් සිටි ඩෝරා මේ කාගෙත් ආදරය මැද්දේ ඉතා ඉක්මනින් වැඩුණාය. ඉපදී සය මසක් පසු කරමින් සිටින ඩෝරාට දැන් හොඳට කෑමට හැක. වේලකට කිරි මිලිලීටර් එකසිය පනහක් බොන ඇය කටුත් සමඟ මස් කිලෝ දෙකක ප්‍රමාණයක් දවසට කන්නීය. මස් කටු දෙන්නේ විශේෂ හේතුවකට බව පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ කියන්නේය.

‘‘මස් කටු දෙන්නෙ දත් වර්ධනයට. ඊට අමතරව පීකුදුත් දෙනවා ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂණීය අවශ්‍යතාවන් සඳහා. මේ වෙද්දි එයා දින දෙක තුනකට වරක් කිලෝ එකක වර්ධනයක් පෙන්වනවා. දැන් වෙද්දි කිලෝ තිස්පහක වර්ධනයක් තියෙනවා. දැන් එයා සාමාන්‍ය සිංහ පැටිවියක් විදිහට වැඩෙනවා. ඒත් ඩෝරා හිතන්නෙ මං එයාගේ තාත්තා කියලයි. ඒ හින්දා එයා ගොඩක් දේවල් මාත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මේ වෙද්දි එයාගෙ භාරකරු හර්ෂ සෙනෙවිරත්නගේ ඇසුරත් එයා බොහෝ ප්‍රිය කරනවා. සමහර වෙලාවට හර්ෂගෙන් මොනව හරි අඩුපාඩුවක් වුණොත්, මාව දැක්කම ඇවිත් මට ඒක අඟවනවා.

සාමාන්‍යයෙන් ඩෝරා ඉන්නෙ කොටු කරපු කොටසක. එතැනින් එයාව එළියට එක්ක යන්නෙ මම. මම නැතුව හර්ෂ තනියම එයාව එක්ක යන්නෙ නෑ, එළියෙදි ප්‍රශ්නයක් ඇති වුණොත් වගකීමක් ගන්න අමාරු නිසා. ඉතින් මම දවසක් නෑවිදින් ඉඳලා ඊළඟ දවසෙ ගියාම මාව හපලා හපලා එළියට එක්කන් යන්න කියනවා. හරියට ඒ හර්ෂ එයාව එක්කන් ගියෙ නෑ කියනවා වගේ. ඉතින් අපි එයාව එළියට එක්ක ගියාම අපි දෙන්නගෙ ළඟට දුව දුව හුරතල් වෙනවා.

එහෙම එළියට එක්ක ගියාම ඩෝරා ඉන්නෙ මං පේන මායිමේ. ටිකක් දුර ගිහින් ආයෙත් හැරි හැරී බලනවා මං ඉන්නවද කියලා. ඩෝරා හොඳට දන්නවා එයාගෙ ආරක්ෂාව මගෙන් හම්බවෙනවා කියලා. ඒ වගේමයි මං එයාට නොපෙනී, නොදැන එයා ඉන්න කිට්ටුවක ගැවසෙනවා කියලා දැනගත්තමත් කඩාගෙන දුවගෙන එනවා. නිකම් නෙවේ අමුතු සද්දෙකුත් දාගෙන එන්නෙ.’’

ඒ විතරක් නොවේ, පවුලක තනි දරුවා බොහෝ විට හිතුවක්කාරයෙකු වන්නා සේ ඩෝරාද හිතුවක්කාර දරුවෙකුගේ ලක්ෂණත් බොහෝ විට පෙන්වයි. ඒවා වැඩිපුර පෙන්වන්නේ ඩෝරාගේ සමීපතමයන්ටයි.

‘‘එයා කාත් එක්කවත් කිසිම දෙයක් බෙදාහදාගන්න සූදානමක් නෑ. සෙල්ලම් බඩුවක් දුන්නත්, කෑමක් දුන්නත් කිසි කෙනෙක් එක්ක බෙදාගන්න කැමති නෑ. ඔක්කොම ටික එයාට ඕන. අපි සමහර වෙලාවට එයාගෙ ඔය දේවල් අත්හැරලා එයාටම තේරුම් ගන්න දීලා බලා ඉන්නවා. ඉතින් පස්සෙ එයාම තේරුම් ගත්ත සමහර අවස්ථා තියෙනවා. මස් කාලා කාලා හොඳටම බඩ පිරුණ වෙලාවක මස් කෑල්ලක් අතේ තියාගෙන හිටියොත් ඒක දෙනකම් කෑගහනවා. ඒක දුන්නම එයා කළේ වැරැද්දක් කියලා පිළිඅරගෙන ළඟට ඇවිත් ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්න වෙලාවල් තියෙනවා. මේ වෙද්දි අපේ වැඩ කරන අය හුඟක් ඉවසීම දියුණු කරගෙන තියෙනවා ඩෝරා එක්ක ඉඳලා.’’

එසේ හුරතල් වෙමින් හැදුණ ඩෝරා පසුගිය ජනවාරියේ සිට රිදියගම සෆාරි උද්‍යානයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන්නට පටන් ගැනුණේය. එය ලෝකයට සාමාන්‍ය දෙයක් වූවද ලංකාවට අලුත් දෙයකි. ඒ නිසා ඇතැමෙක් විවිධ කතන්දර කී අතර බොහෝදෙනෙක් ඩෝරා දැකගන්නට සෆාරි උද්‍යානයට පැමිණියහ.

‘‘අපි ඩෝරා හදන්නෙ අලුත් විදිහට. සමහරු කියලා තිබුණා වනජීවි සතෙක් ඒ විදිහට හදන්නෙ ඇයි කියලා. නමුත් කවුරුත් එහි ඇතුළාන්තය තේරුම් ගන්න ඕන. සත්වෝද්‍යානයක් කියන්නෙ වනජීවීන් ඉන්න තැනක් නෙවේ. වනජීවින්ගෙන් අන්තරායට ලක්වූ සත්තු ඉන්න තැනක්. ඉතින් මේ සත්තු වෙනුවෙන් අපි මුලින්ම කරන්නෙ සත්ත්ව සංරක්ෂණය. දෙවනුව තමයි ඒ සත්තු පෙන්නලා ආදායමක් උපයන්නෙ. ඒ අනුව තමයි අපි සෆාරි උද්‍යානයේ සිංහයන් පිළිබඳ අත්හදාබැලීමක් ඩෝරා මගින් කරන්නේ. මෙතුවක්කල් සත්වෝද්‍යානය ඇතුළෙ සිංහයන් ප්‍රදර්ශනය කළා විතරයි. නමුත් සෆාරි උද්‍යානය ඇතුළෙ සිංහයන්ගේ හැසිරීම මේ මගින් මිනිස්සුන්ට විනෝදයක් වෙන විදිහට මොඩිෆයි වෙනවා. ඒකෙදි නරඹන්නන්ට බාහිර පරිසරයෙ ශක්තිසම්පන්න සතෙක් බලාගන්න පුළුවන්. ඒ වගේම ආතතියකින් තොරව එයාගෙ අසනීප තත්ත්ව හඳුනාගැනීමත් අදාළ ප්‍රතිකාර කිරීමත් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඕනෑම වර්ගයේ සිංහයෙක් එක්ක මුහුවෙන්න අපි එයාගේ හැසිරීම් මොඩිෆයි කරන්න බලාපොරොත්තු වෙනවා.’’

මේ අලුත් වැඩපිළිවෙල සඳහා ඔවුනට මඟපෙන්වීම ලැබෙනුයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂගෙනි. වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ කියන්නේ සෆාරි උද්‍යානයේ ඊළඟට අලුතින් ඉපදෙන පැටව් මේ ක්‍රමය යටතේ හදන බවයි. සයමස් වයසැති ඩෝරා සමාජගතකිරීමේ පියවර මේ වනවිට සාර්ථකව පසුකරමින් ඇත. එහිදී පොඩි ළමයින්ගෙ පූර්ව ළමාවිය සංවර්ධනය කරන්නා සේම ඩෝරාගෙත් පූර්ව ළමාවිය සංවර්ධනයක් සිද්ධ වෙයි.

‘‘ඩෝරා ප්‍රදර්ශනය කරන වෙලාවට පොඩි ළමයින් ඩෝර දැකල එයාලා වැටෙන් එහා පැත්තෙ එහා මෙහා දුවනවා. ඔන්න එතකොට මෙයාගෙත් හුරතල් ගති එනවා. එයත් ඇතුළෙ දුවනවා. ඒ අනුව ඩෝරාගෙ හුදකලා ගති නැතිවෙනවා. ඒ ක්‍රමයෙන් ඩෝරා සමාජගත කිරීමේ එක් පියවරක් සාර්ථක වෙනවා. ඊට අමතරව අපේ සිංහයන්ට ඩෝරා එකතු කරනවා. දැනට ඇතුළේ ඉන්න වොලී, කේසර සහ මීරා තුන්දෙනා ළඟට අරන් ගිහින් හඳුන්වලා දෙනවා. කතා කරනවා. නමුත් තවම මෙයා ටිකක් දඩබ්බරයි. අපිත් එක්ක ඉන්න නිසා අපේ බලය පාවිච්චි කරනවා. ඒ ගොල්ලො පිළි නොගෙන එයාලට ආඩම්බරකම් පෙන්නනවා.’’

මේ වනවිට ඩෝරාට අවශ්‍ය සියලු එන්නත් ලබා දී ඇති අතර අත්‍යාවශ්‍ය පණු නාශකද ලබා දී ඇත. මේ සියල්ලේ මහිමයෙන් ඉපදුණු හැටියේ ලොව හැර යන සූදානමකින් සිටි ඩෝරා අද නිරෝගී සතෙක් ලෙස නරඹන්නන්ගේද සිත් පිනවමින් සෆාරි උද්‍යානයේ සතුටින් කාලය ගෙවයි.

බියංකා නානායක්කාර