Uncategorized

සම රැක බලාගන්නේ නැතුව නිරපරාදේ හිරුඑළියට බනින්න එපා

“ගොඩක් අය තමන්ගේ සම ආදරෙන් බලාගන්නේ නැහැ. සම සවුත්තු වුණාට පස්සේ ඉතින් හිරුඑළියට හරි තමන්ගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියාට හරි දොස් කියනවා.”

මෙසේ පවසන්නේ සැන් ප්‍රැන්සිස්කෝහි සම ආරක්ෂණ විශේෂඥ වෛද්‍යවරියක වන ක්‍රිස්ටිනා ගෝලි ය. රුව පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන අයවලුන් පවා තමාගේ දෛනික රූපලාවන්‍ය පුරුදු ගැන වැඩි අවධානයක් යොමු නොකරන බව ඇය පවසයි.

“සුන්දර, තරුණ සමක් හිමි කරගන්න හැම කාන්තාවක්ම සිහින දකිනවා. හැබැයි සමට සත්කාර කරන්න, සමට ආදරේ කරන්න ගොඩක් අය අකමැතියි. එහෙමත් නැතිනම් එයාලා මේ වැඩේට කම්මැලියි.”

වෛද්‍ය ක්‍රිස්ටිනා තවදුරටත් පවසන්නීය.

සුන්දර තරුණ සමක් හිමි කරගැනීමට නම් රූපලාවන්‍යාගාරයට ගොස් සිදුකරනා සත්කාර පමණක්ම ප්‍රමාණවත් නැත. ඔබගේ දෛනික රූපලාවන්‍ය පුරුදු ද ඒ සඳහා බලපායි.

මේ නිසා ඔබ දැනගත යුතුම දෛනික රූපලාවන්‍ය හුරුපුරුදු කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමට අපි සිතුවේ ඒ නිසාය.

සොඳුරු සමක් උදෙසා ඔබ දෛනිකව අනුගමනය කළ යුතුම පියවර තුනකි.

ඉන් පළමුවැන්න සම පිරිසිදු කිරීමය. සම ටෝනර් කිරීම සහ සමේ තෙතමනය වැඩි කිරීම අනෙකුත් පියවරයන්ය.

 

සම පිරිසිදු කිරීම (Cleaning)

“අපේ සම දිනපතාම කුණු, දුහුවිලි වගේ දේවල්වලට නිරාවරණය වෙනවනේ. ඉතින් දිනපතාම මේ දේවල් සමෙන් ඉවත් කරන එකත් වැදගත්. එහෙම නොකළොත් මේ දේවල්වලින් සමේ සිදුරු අවහිර වෙලා කුරුලෑ ඇතිවීම, සම අවපැහැගැන්වීම වගේ ගැටලු ඇතිවෙන්න ඉඩ තියෙනවා.”

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ චර්ම රෝග වෛද්‍ය කාලෝස් චාල්ස් නිසි ලෙස සම පිරිසිදු නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු පිළිබඳව පහදා දෙන්නේ එසේය.

මෙහිදී මූලිකවම සිදුවන්නේ සමේ ඇති කුණු, දුහුවිලි සහ තෙල් අදාළ ක්ලෙන්සර් නිෂ්පාදනයේ අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් ඉවත් කිරීමය.

නමුත් සාර්ථක ප්‍රතිඵල උදෙසා සමේ ආකාරයට අනුව ක්ලෙන්සර් නිෂ්පාදනයක් තෝරාගැනීම ඉතා වැදගත්ය.

“තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට නම් ෆෝර්මින් (Foaming) වර්ගයේ ක්ලෙන්සර් එකක් වඩාත් යෝග්‍යයි. ඒ වගේම ඔබට තියෙන්නේ වියළි එහෙමත් නැතිනම් ඉක්මනින්ම රතු පැහැවෙන සමක් නම් ලෝෂන් සහ ක්‍රීම් වර්ගයේ (Cream or Lotion) ක්ලෙන්සර් එකක්ම තෝරගන්න.

සංවේදී සමට තෙල් (Oil) වර්ගවල ක්ලෙන්සර් සහ වැඩිහිටි සමට බාම් (Balm) වර්ගවල ක්ලෙන්සර් නිෂ්පාදන හොඳයි. ඒ වගේම මේ ඕනම සමකට පොදුවේ මයිසෙලර් වෝටර් (Miceller Water) වර්ගයේ ක්ලෙන්සර් හොඳයි කියන එකත් කියන්නම ඕනේ.”

වෛද්‍ය කාලෝස් සමේ ආකාර අනුව ක්ලෙන්සර් තෝරාගත යුතු ආකාරය පහදා දෙන්නේ එසේය.

 

ටෝනර් කිරීම (Toning)

ක්ලෙන්සර් එකක් මගින් සම පිරිසිදු කළ පසුව ටෝනර් එකක් භාවිත කිරීමට බොහෝදෙනාට පුරුද්දක් නැත. නමුත් මෙය සම රැකගැනීමට සිතන ඔබ දිනපතා අනුගමනය කළ යුතුම පියවරක්ය.

අප සමට ආලේප කරන රූපලාවන්‍ය ආලේපනවල සාරය සමට හොඳින් උරාගැනීමට මෙම පියවර අපට උපකාරී වේ.

එමෙන්ම සම නිරෝගිමත්ව, සමබරව පවත්වා ගැනීමට අවශ්‍ය නම් දිනපතා සම ටෝනර් කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය මතයයි.

ඇල්ෆා සහ බීටා හයිඩ්‍රොක්සි (Alpha and Beta Hydroxy Acids), හයිලුරොනික් අම්ලය (Hyaluronic Acid), රෝස වතුර, ග්‍රීන් ටී, විටමින් E, C යන මේවායින් එකක් හෝ කිහිපයක් අඩංගු ටෝනර් වර්ගයක් මිලදී ගැනීම ප්‍රතිඵලදායකය.

සම පිරිසිදු කළ පසුව ඔබ මිලදී ගන්නා ටෝනර් ආලේපනයෙන් බිංදු එකක් හෝ දෙකක් මුහුණේ ආලේප කිරීම ප්‍රමාණවත්ය.

 

සමේ තෙතමනය වැඩි කිරීම (Moisturizing)

සමේ අභ්‍යන්තර සහ බාහිර ස්ථරවල තෙතමනය වැඩි කිරීමට නම් ඔබ දිනපතා මොයිස්චරයිස් ආලේපනයක් භාවිතා කළ යුතුමය. එසේ නොමැති නම් සම වියළීම සහ වියපත් වීම වේගවත් වීම වළක්වාලිය නොහැකි බවත් මතක් කළ යුතුමය.

තෙල් සහිත සමක් හිමි අයෙකුට ජෙල් (Gel) මොයිස්චරයිස් ආලේපනයක්ද, සාමාන්‍ය සහ මිශ්‍ර සමට ලෝෂන් (Lotion) වර්ගයේ ආලේපනද වඩා හොඳය. එසේම සංවේදී සමට බාම් (Balm) වර්ගයේ ආලේපනත්, වියළි සමට ක්‍රීම් වර්ගයේ අලේපනත් තෝරාගැනීමට අමතක නොකළ යුතුය.

“මේ මූලික පියවර තුනට අමතර සම සුන්දර කරගන්න වැදගත් වෙන එදිනෙදා රූපලාවන්‍ය පුරුදු කිහිපයකුත් මම මතක් කරන්නම්.

සමේ තියෙ‍න මැරුණු සම හොඳින් ඉවත් කරගන්න අවශ්‍ය නිසා සතියකට සැරයක් මුහුණ ස්ක්‍රබ් කරගන්න එක වැදගත්. හැබැයි කුරුලෑ තියෙන අයට මේ පියවර සුදුසු නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ.

ඊට අමතරව හිරුඑළියට නිරාවරණය වෙනවා නම් සන්ස්ක්‍රීන් (Sunscreen/Sun Cream) එකක් භාවිත කරන එකත් හරිම වැදගත්.

අනෙක් වැදගත්ම දේ තමයි සීරම් ආලේපනය. රාත්‍රී නින්දට කලින් හයලුරොනික් ඇසිඩ් (Hyaluronic Acid), රෙටිනෝල් (Retinol), විටමින් B, C වගේ සංයෝග එකක් හරි කිහිපයක් හරි අඩංගු සීරම් එකක් ආලේප කරන්න පුළුවන් නම් සමේ තරුණ බව රැකගන්න එක තවදුරටත් හීනයක් වෙන්නේ නැහැ.

තව එකක්, ගොඩක් අය අමතක කරන දෙයක් තමයි ඇස් යට ප්‍රදේශය කියන්නේ. ඇස් යට ප්‍රදේශය හරිම සංවේදීයිනේ. ඉතින් ඒ ස්ථානයට විටමින් C, කොජික් ඇසිඩ් (Kojic Acid), නියාසිනමිඩ් (Niacinamid) වගේ සංයෝග අඩංගු ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි භාවිතා කරන එක වඩා හොඳයි.”

අවශ්‍ය නම් මේ සඳහා රූපලාවන්‍ය උපදේශකවරයෙකුගේ උපදෙස් ලබාගත හැකි බවත් අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක

මාලිංග ප්‍රනාන්දු

Personal Grooming Trainer, NVQ 4,5

නදීශා නිර්මාණි