විශේෂාංග

Excuse me! මගේ කට ගඳයිද කියලා පොඩ්ඩක් බලනවද?

‘‘කාන්තාවක් නම් ඇගේ ශරීරයේ ඇති කැළැල් සඟවාගත යුතුයි. කහ පැහැති දත් ඇත්නම් සිනහවීමෙන් වැළකිය යුතුයි. ඒ සියල්ලටත් වඩා මුඛ අශ්වාස දුගඳවත් නම් ඇය හැමවිටම තම පෙම්වතාගේ මුහුණෙන් ඈත්ව සිටිය යුතුයි.’’

රෝම ජාතික කවියෙක් වෙච්චි ඕවිඩ් ඒ කාලේ කාන්තාවන්ට ලබාදුන්න උපදෙස් කිහිපයක් තමයි මේ.

පේන විදිහට ‘මුඛ ආශ්වාස දුගඳවත් වීම’ දැන් කාලේ අයට වගේම ඒ කාලේ අයටත් ප්‍රශ්නයක් වෙලා තියෙන ගානයි.

රෝම හමුදාව විසින් ක්ලියෝපැට්‍රාගේ හමුදාව පරාජයට පත්කළා කියන ආරංචිය ලැබුණම ක්ලියෝපැට්‍රා සියදිවි නසාගත්තලුනේ. ශේක්ස්පියර්ගේ ‘ඇන්ටනී සහ ක්ලියෝපැට්‍රා’ කියන පොතේ හැටියට නම් ක්ලියෝපැට්‍රාගේ ලොකුම බය තිබුණේ රෝමන්වරුන්ගේ ‘බිහිසුණු දුගඳ හුස්ම’ වලටලු. එහෙම බැලුවම ක්ලියෝපැට්‍රා සියදිවි නසාගෙන තියෙන්නෙත් මුඛ දුර්ගන්ධය නිසයි.

පර්සියානු රජ කෙනෙක් වෙන ඔරාන් ඔහුගේ තරුණ මනාලිය නගිඩ්ගේ ඉවසිය නොහැකි මුඛ දුර්ගන්ධය නිසා ඇයව රටෙන් පිටුවහල් කළා කියලත් පර්සියානු වීර කාව්‍යවල දැක්වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙ නිසා රජවරු රජ කුමරියන්ව අතඇරියා නම් ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතී වුණත් මේ නිසා ඔයාව මගඅරින්න බැරිකමක් නැහැ.

මුඛ දුර්ගන්ධය නිසා කෙනෙක් ආදරේ කරන කෙනා ඉස්සරහ විතරක් නෙවේ සමාජය ඉස්සරහා වුණත් ලැජ්ජාවට පත්වෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ ටෙලිෆෝන් එක ජනප්‍රිය වුණු මුල් කාලේ සමහරු තමන් දන්න කියන අයට කෝල් අරගෙන ‘හලෝ!’ කියපු ගමන් ‘අපෝ කට ගඳයි, තාම මූණ හේදුවේ නැද්ද?’ කියලා අහනවලු. හරි ඉතින් ඒක විහිළුවට අහන දෙයක්නේ. හිතන්නකෝ කවුරුහරි කෙනෙක් මහ සභාවක් මැද හෝ වෙනයම් තැනක ‘අපෝ ඔයාගේ කට ගඳයි’ කියලා කිව්වොත් කොහොමද හිතට දැනෙන සනිපේ!

අප්‍රසන්න මුඛ දුර්ගන්ධයක් ඇතිවෙන එක කෙනෙක්ගේ පුද්ගලික සබඳතාවලට වගේම ජීවන තත්ත්වයට අහිතකර ලෙස බලපානවා. ඒ විතරක් නෙමේ මේ නිසා කෙනෙක් මානසිකව වැටෙන්න වුණත් ඉඩ තියෙනවා.

හැබැයි තමන්ගේ කට ඇරියම ඒ වගේ මුඛ දුර්ගන්ධයක් ඇතිවෙනවා කියලා සමහරු දන්නෙත් නැහැ. ගොඩක් අයට අනුන්ගේ වැරදි පෙනුණට තමන්ගේ වැරදි පේන්නේම නැති තරම්නේ. ඒ නිසා තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා මුලින්ම හොයාගන්න වෙනවා.

එහෙම කිව්ව පලියට ‘අනේ මගේ කට පොඩ්ඩක් ගඳද බලනවද?’ කියලා හැමෝගෙම මූණුවලට එබෙන්න යන්න එපා. අම්මා තාත්තා වගේ සමීපතම කෙනෙක්ගෙන් මේ සම්බන්ධයෙන් උදව්වක් ඉල්ලුවට කමක් නැහැ.

මුව කමල සුවඳද කියලා බලන්න ගොඩක් අය කරන්නේ අත මුහුණ ඉස්සරහින් තියලා කටින් හුස්ම පිඹලා සුවඳ ආඝ්‍රාණය කරන එකයි. හැබැයි මේ ක්‍රමේ එච්චර සාර්ථක නැහැ කියලා තමයි වෛද්‍යවරු නම් කියන්නේ.

මැණික් කටුවේ නැත්නම් පිටිඅල්ලේ ඛේටය ටිකක් ආලේප කරලා තත්පර කිහිපයක් තියලා සුවඳ බලන එක ඒ ක්‍රමයට වඩා සාර්ථකයිලු.

එහෙමත් නැත්නම් දිවේ පිටුපස තියෙන සෛල ටිකක් පිරිසිදු යමකින් සූරලා අරගෙන වාතය රහිත බෑග් එකක දාලා විනාඩි කිහිපයකින් පරීක්ෂා කරන එකත් හොඳ ක්‍රමයක්.

මුඛයේ මේ වගේ දුගඳක් ඇතිවෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මුඛ සනීපාරක්ෂාව ගැන නොහිතන එක.

දැන් කාලේ සමහරු වගේ නෙමේ ඒ කාලේ හිටපු චීන ජාතිකයෝ දත කටේ පිරිසිදුකම ගැන හරියට හිතුවලු. ඒ නිසා ඝනකම් මවිල් තිබුණු ඌරෝ හොයලා උන්ගේ බෙල්ලේ පඬිවලින් ලෝකේ මුල්ම දත්බුරුසුව නිර්මාණය කළේත් චීන්නු. පස්සේ වෙනත් රටවල කාණ්ඩයක් ගිජුලිහිණින්ගේ පිහාටුවලට මීයන්ගේ අලු දාලා දත් මැද්දා කියලා පොතපතේ සඳහන්. දැන් නම් මේ කිසි කරදරයක් නැතුව අපි දත් මැදගන්න චීනෙන් දත්බුරුසු ගෙන්වනවා. ඒ පහසුව නිසාමද කොහෙද වෛද්‍යවරු උදේ හවස දැනුවත් කිරීම් කළත් ගොඩක් අයට දත් මදින්න අමතක වෙනවා.

හරියට දත් මදින්නේ නැත්නම් දත්වල සහ දිවේ රැඳිලා තියෙන ආහාර කැබලි මත බැක්ටීරියා හරි හරියට ක්‍රියා කරනවා. ඊටපස්සේ ඉතින් වෙන්නේ කෑ දේ ගඳ වෙන එකයි. ඒ නිසා මොන දේ අමතක කළත් දවසට දෙපාරක් කෑමෙන් පසු දත් සහ දිව පිරිසිදු කරන එක නම් අමතක කරන්නම එපා.

ඊළඟ කාරණාව මුඛයේ තෙතමනය පවත්වාගන්න අපොහොසත් වෙන එක. විවිධ ලෙඩ රෝග නිසා වගේම හරියට වතුර බොන්නෙ නැති වුණගමන් මුඛයේ තියෙන ඛේටය නිෂ්පාදනය අඩු වෙනවා. ‘ලූලා නැති වළට කණයා පණ්ඩිතයා’ වගේ ඛේටය හිඟවුණු හැටියේම ක​ටේ ඉන්න බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය වැඩිවෙලා මුඛයෙන් දුගඳක් ඇතිවෙනවා. ඉතින් හොඳම දේ තමයි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම. ඒ කරලත් කට වේලෙනවා නම් ඉතින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා.

ඒ වගේම සුදුලූනු, ලූනු, කෝපි, සැමන් වගේ ආහාර ඕනවට වඩා ආහාරයට ගන්න ගියහමත් මුඛ දුර්ගන්ධයක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම විදුරුමස් සහ දත් ආශ්‍රිත රෝග සහ ඇතැම් ආන්ත්‍රික රෝගවල බලපෑම නිසාත් ‘සුවඳයි මුවේ මල් පැණි’ වෙනුවට ‘දුගඳයි මුවේ මල්පැණි’ කියන්න සිද්ධ වෙනවා.

මුඛ දුගඳ නැති කරගන්න ඒ කාලේ උදවිය නම් නිතරම වගේ කුරුඳු පොත්තක්, කරාබු නැට්ටක්, එනසාල් කෑල්ලක් එහෙම කටේ දාලා හැපුවාලුනේ. නොකරන එක මිසක් අද කාලේ අයටත් මේ දේවල් කරන්න නම් බැරිකමක් නැහැ.

ඒ වගේම පොල් මුල්, පුවක් මුල්, කුරුඳු මුල් තම්බපු වතුරෙන් කට හෝදන එකෙනුත් කටේ ගඳ අඩු කරගන්න පුළුවන්.

කුරුඳු තේ හැඳි බාගයකට ලෙමන් යුෂ එකතු කරලා පැය දෙකක් විතර තියලා ඒකෙන් කට සෝදන්න.

ග්‍රීන් ටී තෙල්, පෙපර්මින්ට් තෙල් සහ ලෙමන් තෙල් වතුරට දාලා හොඳට කලත්තලා ඒ වතුර එක ළඟ තියාගෙන කට හෝදන එකත් හොඳ ප්‍රතිකාරයක්.

ඔය කිව්වේ ගෙදරදී හදාගන්න පුළුවන් දේවල්. ඒවට අකමැති නම් වෙළඳපොළෙන් ප්‍රමිතිගත මවුත් වොෂ් එකක් අරන් පාවිච්චි කරන්නත් පුළුවන්.

මේ දේවල් මගිනුත් ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණේ නැත්නම් වෛද්‍යවරයෙක් හරි පළපුරුදු රූපලාවන්‍ය උපදේශකවරයෙක් හමුවෙන එක හොඳයි කියන එකත් අවසාන වශයෙන් මතක් කරන්නම ඕනේ.

නදීශා නිර්මාණි