විශේෂාංග

බූස්ටර් එන්නත ගැන වහසිබස් දොඩන්නන්ගේ කටවල්වලට ප්ලාස්ටර් අලවනු ලැබේ!

මේ දවස්වල ගමේ කොයි කවුරුත් අතන මෙතන එක්කාසු වී දොඩමලුවන්නේ බූස්ටර් එන්නත ගැනය.

‘‘කලින් ගැහුව ඒවා වගේ නෙවේලු. ඒකෙන් කරන්නේ අපේ ‍DNA වෙනස් කරන එකලුනේ.’’

‘‘ඔව්ඔව්. ඕවයින් මොනවා වෙනවද කියලා කවුද දන්නේ. අපෝ අපි නම් ගහන්නේ නැහැ…’’

කඩපිලට ආවොත් ගියොත් ඇහෙන්නෙම ඔවැනි කතා නිසා නිර්මලා සැටවිය පසුකළ තම පියා ගුණපාලට හන්දිය පළාතකටවත් යන්නට ඉඩ දෙන්නේ නැත.

‘‘තාත්තට කලින් ඉන්ජෙක්ෂන් දෙක ගහගත්තෙත් බොහොම අමාරුවෙන් ඩොක්ටර්. කවුරු කොහොම කිව්වත් බූස්ටර් එන්නත නම් ගහන්​නේ නැහැලු.’’

වෛද්‍ය යූ.ඩී.එන්.ප්‍රසාද් මහතා අමතා නිර්මලා ඒ ගැන කීවේ ඔහුගෙන් යම් උපදේශයක්ද ලබාගන්නා අරමුණු ඇතුවය.‘‘බූස්ටර් එන්නත ගැන අහලා දවසට ඔය වගේ දුරකතන ඇමතුම් කිහිපයක්ම එනවා. ඒකට හේතුව කඩපිල් ගානේ විතරක් නෙවෙයි යමක්කමක් දන්න වියත් යැයි සම්මත උදවිය පවා සමාජ මාධ්‍ය හරහා මේ ගැන දුර්මත වැපිරීම. ඒක ඉතා කණගාටුදායක තත්ත්වයක්.’’

‘‘කලින් කිව්වෙ එන්නත් දෙකම ගැහුවොත් බේරෙන්න පුළුවන් කියලනේ. දැන් මොකටද තුන්වෙනි එකක් ගහන්න කියන්නේ?’’

ඒ බූස්ටර් මාත්‍රාව ප්‍රතික්ෂේප කරන බොහෝදෙනා යොමු කරන පැනයක්ය.

‘‘කොවිඩ්-19 කියන්නේ 2019 ​සොයාගත් වෛරසයක්. ඉතින් එහි හැසිරීම ගැන කාටවත් ස්ථිර මතවාද ප්‍රකාශ කරන්න බැහැ. කොවිඩ් එන්නතෙන් වෙන්නේ කොවිඩ්වලට එරෙහි ප්‍රතිදේහ නිපදවලා ශරීර ප්‍රතිශක්තිය වැඩි කරවන එක. ඒකෙන් කොවිඩ් පැතිරීම පාලනය කරනවා වගේම කොවිඩ් මාරාන්තික වීම වළක්වනවා. එන්නත්කරණයට පස්සෙත් ඇල්ෆා, ඩෙල්ටා, ඔමික්‍රෝන් වගේ විවිධ කොවිඩ් ප්‍රභේද හමුවුණා. ඒත් එක්කම එන්නත්කරණය ඉහළ මට්ටමක පැවතුණු ඊශ්‍රායලය වගේ රටවල උදවියටත් නැවතත් කොවිඩ් වැළඳෙන්න පටන්ගත්තා. ඒ නිසා එන්නත්කරණය කළාට පස්සෙත් කොවිඩ් වැළඳෙන්න පුළුවන් කියන එක එතැනදී පැහැදිලි වුණා. ඒ නිසා ශරීරයට වෛරස් එක්ක සටන් කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කරලා දෙන්න අපිට සිද්ධ වෙනවා (Boost). මේ බූස්ටර් එන්නත ලබාදෙන්නේ ඒ සඳහායි.’’

බූස්ටර් එන්නතද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝකයේ වෙනත් වෛද්‍ය සංගම්වල ආචාර ධර්මවලට අනුකූලව විවිධ පරීක්ෂණවලින් අනුමත වූ එකකි.

‘‘බූස්ටර් එන්නත නිසා කොවිඩ් සංකූලතා දරුණු වීම, මාරාන්තික වීම ඒ වගේම අවයව අකර්මණ්‍ය වීම වගේ දේවල් වළක්වා ගන්න පුළුවන්. කලින් සයිනොෆාම්, ඇස්ට්‍රසෙනිකා වගේ වැක්සීන් ගහලා දැන් ෆයිසර් (Pfizer) ගහන්නේ ඇයි කියලත් සමහරු අහනවා. කොවිඩ් එන්නත්වල තියෙන්නේ දුර්වල කළ කොවිඩ් වෛරසය. ඒත් බූස්ටර් එන්නතේ අඩංගු වෙන්නේ mRNA. ඒ කියන්නේ වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වෙන සංයෝජනයක්. ඉතින් කොවිඩ් එන්නත් සහ මේ බූස්ටර් එන්නත කියන්නේ වර්ග දෙකක් මිස එකක් නෙවේ කියන එක පටලවගන්න එපා.’’

මේ වනවිට ලොව පුරා බූස්ටර් එන්නත් ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන්නේ ෆයිසර් එන්නත පමණි.

‘‘අවුරුදු 60ට වැඩි අය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදරෝග, වකුගඩු රෝග සහ ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත ගැටලු තියෙන අය අනිවාර්යයෙන්ම මේ බූස්ටර් එන්නත ගහගන්නම ඕනේ. එන්නත් දෙකම ලබාගත්තු අවුරුදු 20ට වැඩි ඕනම කෙනෙක්ට දැන් බූස්ටර් එන්නත ලබාගන්න පුළුවන්. ඒ වගේම බූස්ටර් එන්නත ලබාගන්න ඕනේ දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස තුනකට පසුව කියන එකත් කියන්න ඕනේ. කලින් කොවිඩ් හැදුනු නිසා අපි බූස්ටර් එන්නත ගහන්නම ඕනද කියලා අහන අය ඉන්නවා. ඒකට උත්තරය තමයි ‘ඔව්’ කියන එක.’’

ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට, ගර්භනී මව්වරුන්ට, ඔවුන්ගේ කළලයට සහ කිරිදෙන මව්වරුන්ට බූස්ටර් එන්නතෙන් කිසිඳු බලපෑමක් ඇති නොවන බවත් ඔහු කියයි.

‘‘බූස්ටර් එන්නත නිසා කළලයට බලපෑමක් ඇතිවෙනවා එහෙම නැත්නම් මඳසරුභාවය, ලිංගික අකර්මණ්‍යතා වගේ දේවල් පවා වෙන්න පුළුවන් කියලත් සමහරු කතා වෙනවා. හැබැයි එවැනි මතවාදවල කිසිම සත්‍යතාවයක් නැහැ කියන එක මේ වෙනකොටත් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරලා ඉවරයි.’’

කොවිඩ් එන්නත්වලට ඇති නොවුණු ඇඟේපතේ අමාරුකම් බූස්ටර් එන්නතට ඇතිවන බවත්, එසේ වන්නේ එන්නතේ අයහපත් බලපෑම නිසා බවත් ඇතැමෙකුගේ මතයයි.

‘‘ඒකත් සම්පූර්ණ වැරදි මතයක්. බූස්ටර් එන්නත නිසා උණ, හන්දිපත් වේදනාව, ඇඟපතේ අමාරුව, බඩේ අමාරුව, එන්නත් කළ ස්ථානයේ වේදනාවක් දැනීම වගේ පුංචි පුංචි අතුරුආබාධ ඇතිවෙන්න පුළුවන් තමයි. හැබැයි ඒ අමාරුකම් පැය 48-72 කාලයක් ඇතුළත අඩුවෙලා යනවා.

දීර්ඝකාලීන අතුරුආබාධ විදියට මයෝකාඩයිටීස් (Myocarditis – හාදය ආශ්‍රිත රෝග තත්ත්වයක්), TTP (ලේ, ස්නායු ආශ්‍රිත ගැටලුවක්) වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ෆයිසර් නිසා මයෝකාඩයිටීස් ඇතිවුණ අය වාර්තා වෙන්නේ ලක්ෂයකට 5ක් වගේ ප්‍රමාණයක්. එතකොට TTP මිලියනයකට එකක්. එහෙම බැලුවහම මේ තත්ත්වයන් ඉතාම දුර්ලභයි. හැබැයි එන්නත් හෝ බූස්ටර් නොවිද ඉඳලා කොවිඩ් සංකූලතා විදියට මේ රෝග ඇතිවුණ ප්‍රමාණය ඊට ගෙඩාක් ඉහළයි.’’

ඔහු කියන්නේ එන්නත්වල ආරක්ෂාව තහවුරු කරගැනීමට නම් මේ මොහොතේ බූස්ටර් එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවයි. බූස්ටර් එන්නත ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් ළඟම ඇති බූස්ටර් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් එන්නත ගත හැකිය.

‘‘බූස්ටර් එන්නත ගත්ත පමණින් කොරෝනා හැදෙන එකෙන් සීයට සීයක් ආරක්ෂා වෙනවා කියලා අපි කියන්නෙ නැහැ. මේකෙන් වෙන්නේ සංකූලතා අවම වීම සහ කොවිඩ් මාරාන්තික වීම වැළකීම පමණයි. දැන් දැන් බොහෝදෙනා කටයුතු කරන්නේ කොරෝනා කියලා වෛරසයක් තිබ්බද කියලත් මතක නැති ගානට. නිතරම දෑත් ​සේදීම, මුඛ ආවරණ පැළඳීම, සෙනඟ ඇති ස්ථානවලින් හැකිතාක් ඈත්වීම වගේ සෞඛරාක්ෂිත ක්‍රම පිළිපදින්නේ නැත්නම් අපිට රටක් විදියට කොරෝනා පරාද කරන්න අමාරුයි කියන එකනම් අවසාන වශයෙන් මතක් කරන්නම ඕනේ.’’

කායික රෝග විශේෂඥ වෛද්‍ය

යූ.ඩී.එන්.ප්‍රසාද්

කන්තලේ මූලික රෝහල

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි