විශේෂාංග

Busy! Busy! Busy! කියන අය මේකත් try කරලා බලන්න

පහුගිය සුමාන දෙක ගොඩක් කාර්යබහුල වුණා අපිට. මැලේසියා ඉඳන් ආපහු අපි ජපානේ පදිංචියට යන නිසා අත්‍යාවශ්‍ය දේවල් ආපහු ජපානෙට යවන්න ඕන වැඩකටයුතු පිළිවෙලක් කළා. ඒ දේවල් වැඩ පටන් ගන්න කලින් මං එක පාර දවස් තුනකට විතර උයාගත්තා. ශීතකරණයේ තිබ්බ එළවළු ටික ඔක්කොම වගේ මං ඉව්වා. එහෙම කරේ ඉදිරි දවස්වල උයන්න අපහසු දවස් එන නිසා.

පරිප්පු කිරෙන්ම තම්බලා උයාගත්තා. බෝංචි කිරට ඉව්වා. බීට්රෑට් තෙලෙන් මලවලා කිරි දාලා හින්දලා උයාගත්තා. කුකුල් මස් මිරිසට උයාගෙන, තිබ්බ සැමන් ටින් එක තෙල් දැම්මා. පොර්ක් කළුවට ඉව්වා. මාළු මිරිසට ඉව්වා.

මේ හැමදේම උයලා නිවෙන්න තියලා ප්ලාස්ටික් කන්ටේනර්වල දාලා ෆ්‍රිජ් එකේ දැම්මා. අධිශීතකරණයේත් දාන්න පුළුවන්. මං දැම්මේ පහල කොටසේ. දවස් තුනකට වගේ හදාගත්තු නිසා.

මං මෙහෙම දවස් තුනකට එක පාරටම උයාගත්තේ උයන්න කම්මැලි නිසා නෙවෙයි. මගේ ඉදිරි දවස් කාර්යබහුල වෙන නිසා සහ එදිනෙදා උයන්න අපහසුව වෙන නිසා. කාර්යබහුල දවස්වල වේලාව ඉතුරු කරගන්න ඕන නිසා.

මේ විදියට එකපාර කෑම ගොඩක් හදාගන්න එකට කියන්නේ bulk cooking කියලා. තවත් විදියකට කිව්වොත් කාලය ඉතුරු කරගෙන, නරක් වෙන්නැති වෙන්න දවස් කීපයකටම උයාගෙන කෑමට ගන්න පුළුවන් ඉවීමේ රටාවක් විදියටත් සරලව විස්තර කරන්න පුළුවන්. මේ ක්‍රමය ගොඩක් ප්‍රසිද්ධ නැති වුණත් ලංකාවෙත් මේක කරන අය ඕනෑතරම් ඉන්නවා මං දන්න. විශේෂයෙන්ම රස්සාවට යන, පුංචි දරුවෝ ඉන්න අයට කුස්සියේ වැඩවලට ගොඩක් වේලාව වෙන්කරන්න අපහසුයි. එහෙම වෙලාවක මේ ක්‍රමය ගොඩක් පහසු වෙනවා.

ඉතින් මේ කියන bulk cooking වලදී දවස් කීපයකට ඇති වෙන්න මේ විදියට කෑම උයලා ඒවා ප්ලාස්ටික් පෙට්ටිවල දාලා අධිශීතකරණයේ දානවා. කෑමට ගන්න පැය බාගෙකට කලින් එදා කෑමට ගන්න දේවල් ටික එළියෙන් තියලා මයික්‍රෝවේව් එකේ දාලා රත් කරගන්නවා. නැත්තන් උයපුවා ඇතිලියක දාලා ලිපේ තියලා රත් කරලා ගත්තත් හරි. මයික්‍රෝවේව් එකක්ම ඕන වෙන්නේ නෑ.

හැබැයි මේ දේ කරනවා නම් දැනගන්නම ඕන වැදගත් දේවල් කීපයක් තියනවා. ඒවා ගැන තමයි මං දැන් මේ කියන්නේ.

මේ විදියට කෑම උයලා කනකොට එදා දවසට කන්න ගත්තු දේවල් ටික රත් කරලා එදාම කාලා ඉවර කරන්න ඕනේ. රත් කරාට පස්සේ ආපහු ශීතකරණයේ දාන්නේ නෑ. එහෙම රත් කර කර ශීතකරණයේ දාලා කෑමට ගන්න හොඳ නෑ. මේ එකක්.

අනික් දේ, එදා දවසට කෑමට ගන්න ව්‍යංජන වර්ගවල ප්‍රමාණය වැඩී නම්, අධිශීතකරණයෙන් එළියට අරන් පැය බාගයක් විතර එළියෙන් තියලා කෑමට ගන්න උවමනා ප්‍රමාණය විතරක් වෙන භාජනේකට දාගෙන ඉතුරු ටික නැවත අධිශීතකරණයට දාන එක. එතකොට වෙන් කරගත්තු කොටස රත් කරලා ආහාරයට අරගෙන ඉවර කරන්න පුළුවන්. අධිශීතකරණයට දාපු ඉතුරු ටික නැවත දවසක පාවිච්චියට ගන්න පුළුවන්.

මං කරන්නේ උයපු බත් ටික පිඟානට බෙදාගෙන, පස්සේ උයලා ශීතකරණයේ දාලා තියන දේවල්වලින් එදා කෑමට ගන්න මස්, එළවළු වර්ග ටික අරන් පොඩ්ඩ වේලාවක් එළියෙන් තියලා කූල් එක අඩු වුණාම පිඟානට බෙදලා ඊට පස්සේ මයික්‍රෝවේව් එකට දාලා විනාඩියක් රත් කරලා ගන්න එක.

අනික් දේ මේ විදියට කෑම හදද්දී එළවළු වර්ග, මස් මාළු වර්ග ඉව්වට මැල්ලුම වර්ග දවස් ගනන් හදලා තියලා කෑමට ගන්නේ නෑ. එහෙම හදලා තියලා මැල්ලුම් රත් කරලා කෑමට ගන්න එකෙන් මැල්ලුමේ පෝෂණ ගුණය අඩුවෙනවා වගේම පාටත් වෙනස් වෙනවා.

මේ විදියට ව්‍යංජන, මස්, මාලු සකස් කරන් එදිනෙදා අහාරයට ගනිද්දී මැල්ලුමක් සලාදයක් ඕන වෙන නිසා, මැල්ලුමට ඕනවෙන කොළ සෝදලා කපලා zip lock බෑග් එකක දාලා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තිබ්බාම කන වේලාවට ඉක්මනින් මැල්ලුමක් හදාගන්නත් පුළුවන්.

තවත් මේ ක්‍රමේදී වැදගත් වෙන කරුණු ටිකක් ලියන්නම්.

උයන්න ගන්න එළවළු හොඳම ඒවා තෝරලා ගන්න ඕනේ. සෝදලා වතුර බේරලා වෙනදා විදියටම කිරට තෙලට උයාගන්න. බය වෙන්න එපා පොඩ්ඩක්වත් නරක් වෙන්නේ නෑ.

මස්, මාළු වර්ගත් එහෙමයි හොඳින් සෝදලා වතුර හොඳින් අයින් වුණාම කැමති විදියකට උයාගන්න පුළුවන්.

අනික් දේ තැලිච්ච පොඩි වෙච්ච එළවළු, පරණ මස්, මාළු ගන්න එපා. පුළුවන් තරම් නැවුම් එළවළු, මස්, මාළු පාවිච්චි කරන්න.

ශීතකරණයේ දානකොට, මං පාවිච්චි කරේ ප්ලාස්ටික් පියනෙන් වහන්න පුළුවන් භාජන. හොඳින් පිරිසිදු කරපු පියනකින් වහන්න පුළුවන් වීදුරු භාජනත් පාවිච්චි කරන්න පුළුවන්. අධිශීතකරණයේ ගොඩක් ඉඩකඩ තියනවා නම්, ඒ දවසට ගන්න ව්‍යංජනය මස්, මාළු වෙනම වෙනම දාලා ලේබල් කරලා පිළිවෙකට අධිශීතකරණයේ අසුර ගන්න පුළුවන්.

උදාහරණයක් විදියට හදපු පරිප්පු ව්‍යංජනය ප්ලාස්ටික් භාජන දෙකට දාලා වෙන් කරලා තිබ්බාම දවස් දෙකකට කෑමට ගන්න පුළුවන්. නැත්නම් පිසපු ඔක්කෝම පරිප්පු ටික එක ප්ලාස්ටික් භාජනේකට දාලා අධිශීතකරණයට දාලා අවශ්‍ය දවසට පැයකට කලින් එළියට අරන් කූල් ගතිය අඩු වුණාම අවශ්‍ය ප්‍රමාණය අරන් ඉතුරු ටික වහලා ආපහු අධිශීතකරණයට දැම්මාම හරි. තවත් පැහැදිලි වෙන්නයි මේ විදියට පරිප්පු උදාහරණයකට අරන් ලිව්වේ.

අනික් වැදගත්ම දේ සැරෙන් සැරේට ශීතකරණය අරින එකත් පොඩ්ඩක් අඩු කරන්න ඕනෙ.

මං මේ bulk cooking ක්‍රමය ප්‍රයෝජනයට ගත්තේ, මට වැඩ අධිකව තිබුණ දවස්වල විතරයි. මට ඒ නිසා කාලය ඉතුරු කරගන්නත් වෙනදා වගේම රස කෑමවේලක් උණුවෙන්ම කන්නත් පුළුවන් වුණා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන ‘පිස්සු වැඩක්’ ද කියලා. ඒත් පුංචි දරුවෝ ඉන්න අම්මලාට, රැකියාවට යන අයට මේ විදියට උයාගන්න එක ගොඩක්ම ලේසියි.

ඉවීමට දවසේ වේලාවක් වෙන්න කරන්න අමාරු කෙනෙක්‍ට වුණත් ගැහැනු පිරිමි භේදයක් නැතුව මං මේ කියන්නේ, සුමානෙට එක දවසක් කෑම ටික හදාගන්න වෙන් කරගත්තාම සුමානෙම හිතේ නිදහසින් වැඩ කරගන්න පුළුවන් වෙයි. උයන එකෙන් විනෝදයක් දැනෙයි.

මේ දේ මං ගොඩක්ම කළේ මගේ දූලා දෙන්නා ඉපදුන අලුත. දෙන්නාම ලැබුණේ එක ළඟ. අපි පරිප්පු ටිකක් යහමින් උයාගන්නවා. කුකුල්මස් ටිකක් වැඩිපුර ලොකු භාජනේකට උයාගන්නවා. අල තෙල් දාගන්නවා. බණ්ඩක්කා තෙල් දාගන්නවා. පස්සේ නිවෙන්න තියලා ලොකු ප්ලාස්ටික් භාජන හතරක දාලා වහනවා. පස්සේ ශීතකරණයේ දානවා. දවස් තුනකට වගේ හදාගන්න නිසා ශීතකරණයේ සාමාන්‍ය කොටසෙන් දානවා. මෙහෙම උයන වේලාවට දහම් මස් කපලා දීලා, ලූනු කපලා දීලා මට උදව් කරනවා. එයා තමා මට මේ ක්‍රමේ මුලින්ම කියලා දුන්නේ. ඒ කාලේ අපිට ලේසිම විදිය වුණේ මේ ක්‍රමය. අවුරුද්දෙ දරුවෙකුයි, මාස තුනක්වත් නැති චූටි කිරිකැටියෙකුයි එක්ක උයන්න මට කාලය කළමනාකරණය කරගන්න අපහසු වුණා.

පිටරටවල නම් මේ bulk cooking ක්‍රමය ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන කටයුතුවලට ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවලට ගිහින් ඉන්න අපේ තරුණ ළමයින්ට මේ ක්‍රමය සෑහෙන්න ප්‍රයෝජනවත් කියල මම අහල තියනවා. මොකද එයාලත් ඉගෙනගන්න ගමන් part time රැකියා එහෙමත් කරන අයනේ. ඉතින් උයන්න වෙලාව නැති නිසා කඩෙන්ම කන කවුරුහරි ඉන්නවනම් මේ ක්‍රමය ටිකක් අත්හදා බලන්න. ඒකෙන් ජීවිතය පහසු වෙයි වගේම වෙනස්ම අත්දැකීමක් වෙයි කියලත් මට විශ්වාසයි.

සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.

හෂීණී මනමේන්ද්‍ර