විශේෂාංග

සිංගප්පූරු යවන්නට කියා ගම්බද සිඟිති දියණියන්ගේ අඩනිරුවත් ඡායාරූප ගත් කොළඹ මහත්තයා

හේනක්, කුඹුරක් කොටාගෙන හෝ කුලියක්, මලියක් කරගෙන ජීවත්වෙන ගමේ අහිංසක අම්මා අප්පච්චිලාට කොළඹ කියන්නෙත් සිහින පුරයකි. එහෙව් එකේ සිංගප්පූරු සිහින ඔවුන්ට කොහොමත් දුර වැඩිය. ඒත් කොළඹින් පිටිසරට ගිය එක්තරා මහත්තයෙක් එවැනි සිංගප්පූරු සිහිනයක් මේ අහිංසකයන්ට හරි ලාබෙට වික්කේය. අත දිගහැර හරි හරියට වියපැහැදම් කළ ඔහු ඒ හිලව්වට ඉල්ලා සිටියේ ගෙවල්වල සිටින දූ සිඟිත්තියන්ගේ ඡායාරූප ලබාගැනීමේ අවසරය පමණි. ඒවා සිංගප්පූරුවේ පවතින ඡායාරූප ප්‍රදර්ශනයක් සඳහා බවත්, ජයග්‍රහණය කළහොත් දරුවන්ට සිංගප්පූරු යා හැකි බවත් ඔහු සපථ කළේය. දරුවන්ගේ වාසනාව යැයි සිතූ අහිංසක දෙමාපියෝ ඊට අවසර දුන්නේ සද්භාවයෙන් වුණත් කොළඹින් ආ මහත්තයා නොසන්ඩාලයෙකු බව ඔවුන් දැනසිටියේ නැත. දරුවන්ගේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවල දෙමාපියන්ට ඒ පැත්ත පළාතේ ඒම තහනම්ය. අම්මලා ඉන්න තැන ෆොටෝ ගහන විට දරුවන් ‘Nervous’ වන බවයි ඔහු පවසා තිබුණේ. Nervous යන වචනයේ දිගක් පළලක් නොදැන සිටියත් දරුවාට පෑදෙන්නට යන ඉල්ලමට එය බාධාවක් බව සිතූ උන්දැලා ෆොටෝ ගසා ඉවර වෙනතෙක් ආපහු නිකමටවත් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එනිසාම මහ ගෑනුන් සේ පෙනෙන පරිදි මේකප් දමා ඔහු අරගත් දරුවන්ගේ අඩනිරුවත් ඡායාරූප ගැන හාංකවිසියක්වත් මේ දෙමාපියෝ දැනසිටියේ නැත. ඉතින් එලෙස ලබාගත් අඩනිරුවත් ඡායාරූප පලකළ වෙබ් අඩවි ගැන දෙවියන් වැඩමකොට කීවොත් හැර ඔවුන් කෙසේනම් දැනගන්නද?

කොහොම නමුත් ඒ අතරතුර මේ ඡායාරූප ශිල්පියාගේ මගෝඩි වැඩ ගැන කොළඹ සිටි නෝනා මහත්රුවන් පිරිසක් ඇහැ ගහගෙන සිටියහ. ඔහු විසින් අවුරුදු 5-11 අතර වයසේ පසුවූ එකී දැරියන්ගේ අඩනිරුවත් ඡායාරූප පලකළ අසැබි වෙබ් අඩවි පිළිබඳව ඔවුන් සොයාගත්නේ ඉන් අනතුරුවය. ඒ අනුවයි ඔවුන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කර තිබුණේ. මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ සිද්ධිය සමබන්ධ විමර්ශනයක් ආරම්භ කොට ඇති නිසා ඒ පිලිබඳ වැඩියමක් දැනගැනීමට අප ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතාට කතා කෙරුවෙමු. ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධාවෙන නිසා ඔහුගේ නම සඳහන් කළ නොහැකි බව කී සභාපතිවරයා එම තැනැත්තා අවුරුදු 39ක නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පමණක් කියා සිටියේය.

‘‘පහුගිය ජනවාරි 13 වෙනිදා ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක සේවා අංකයට මේ ගැන සොයා බැලීමක් කරන්න කියලා ඇමතුම් රාශියක්ම ලැබුණා. එතැනින් පස්සේ වෙනත් මාර්ගවලිනුත් අපිට මේ ගැන පැමිණිලි ලැබෙන්න පටන්ගත්තා. ඒ හැම කෙනෙක්ම වගේ අපෙන් ඉල්ලීම් කරලා තිබුණේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා අදාළ පුද්ගලයාට නීති මගින් කටයුතු කරන්න කියලා.මේ ගැන විමර්ශණ කටයුතු කරන අතරවාරෙදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරියක් වන චන්දිමා දුනුවිල මහත්මිය විසින් අදාළ පුද්ගලයාට ලිපියක් යොමු කරලා තිබුණා. ඔහුගේ වෙබ් පිටුව ගැන අපිට නොසෑහෙන්න පැමිණිලි ලැබිලා තියෙනවා කියලත්, එහි අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප පලවෙලා තිබුණොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ හැකි බවකුත් ඇය විසින් ඒ ලිපියේ සඳහන් කරලා තිබුණා.’’

මීට සතියකට පෙරාතුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් එම ඡායාරූප ශිල්පියා කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඔහු අපට කීවේය.

‘‘ඒ පුද්ගලයා කිව්වේ මේ දරුවෝ හැම කෙනෙක්ගෙම ඡායාරූප ගත්තේ දෙමව්පියන්ගේ කැමැත්ත ඇතුව කියලා. නමුත් ඒක සනාථ කරන්නට ඒ පුද්ගලයා සතුව කිසිඳු ලිඛිත ලියැවිල්ලක්වත්, දෙමාපියන්ගේ විස්තර ඇතුළත් ලැයිස්තුවක්වත් තිබු‍ණේ නෑ.’’

තවදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබු​ණේ එම පුද්ගලයා විසින් එක් දරුවෙකුගේ ඡායාරූප 800ක් 1000ක් අතර ප්‍රමාණයක් ලබාගෙන ඇති බවය. ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට එවැනි ඡායාරූප විශාල ප්‍රමාණයක් හමුවූ බවත්, ඒ සියල්ලම වැඩිහිටි නිරූපණ ශිල්පිනියන්ගේ ආකාරයට අඩ නිරුවතින් ලබාගත් ඒවා බවත් සභාපතිවරයා අපට කීවේය.

‘‘ඇත්තටම ඒ ෆොටෝ දැක්කම මේ පුද්ගලයා ගැන මටත් විශාල සැකයක් මතුවුණා. ඒ වෙලාවෙදි අපිට ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණ නියෝගයක් තිබුණෙ නෑ.’’

නමුත් යම් පුද්ගලයෙකු සන්තකයේ හෝ කිසියම් තැනක දරුවන්ගේ අසභ්‍ය වීඩියෝපට සහ ඡායාරූප ඇති බවට සාධාරණ සැකයක් ඇත්නම් අධිකරණ නියෝගයක් නොමැතිව අදාළ පාර්ශවයන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බලයලත් නිලධාරියෙකු පත්කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට බලය ඇත. ඒ 1998 අංක 50 දරණ පනතේ 33 වැනි වගන්තියට ප්‍රකාරවය.

‘‘අධිකරණ සෝදිසි වරෙන්තු අරගෙන අත්අඩංගුවට ගන්න හිටියා නම් ඒ කාලය ඇතුළත මේ පුද්ගලයා විසින් සාක්ෂි මකලා දාන්න පුළුවන්කම තිබුණා. ඒනිසා මම ඒ වෙලාවෙම අදාළ කටයුතු ගැන හොයලා බලන්න බලයලත් නිලධාරියෙක්ව පත්කළා.’’

ඒ අනුව පසුගිය සතියේදී අදාළ පුද්ගයා රැඳී සිටි නුගේගොඩ විජේරාමයේ සහ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ස්ථාන දෙකක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සෝදිසි මෙහෙයුම්වලට ලක්කර ඇත. එහිදී ඔහු සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන ආදී සියල්ලද ළමා රක්ෂණ අධිකාරියේ භාරයට ගත් බවයි ඔහු අපට කීවේ. පසුව උසාවි නියෝගයට අනුව බලය ලත් ආයතනවලට ලබාදී ඒවායේ දත්ත පරීක්ෂාවටද ලක්කොට ඒ පිළිබඳ පසුගිය සඳුදා දින අලුත්කඩේ අංක 06 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි ඔහු කීවේ.

යම්කිසි ආකාරයකින් මොහු විසින් දරුවන්ගේ ඡායාරූප විකෘති කිරීම්, විකිණීම් සහ සඟවා තබා ගැනීම් ආදියට කටයුතු කර ඇති බවක් සැලවුවහොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

‘‘ඇත්තටම දෙමව්පියන්ට ඕන වෙච්ච පලියට ඒ අයගේ කැමැත්ත උඩ දරුවන්ට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන්න බෑ. මොකද දරුවෙකුගේ ඉහළම භාරකරුවා වෙන්නේ අධිකරණය. මේ සිද්ධියට අදාළවත් කිසියම් දෙමව්පියෙක් විසින් හිතාමතාම තමන්ගේ දරුවව අඩනිරුවත් ඡායාරූපවලට යොමු කරලා කියලා කරුණු අනාවරණය වුණොත් එවැනි දෙමව්පියන්ට විරුද්ධවත් නීතිමය පියවර ගන්න ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරනවා.

අවසාන වශයෙන් මට දෙමව්පියන්ට කියන්න වැදගත් පණිවිඩ කීපයක් තියෙනවා. එකක් තමයි දරුවන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් මේ වගේ වෙබ් පිටු ගැන තොරතුරු ලැබුණොත් ඕනම වෙලාවක ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකතන අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න කියන එක. අනිත් කාරණාව තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනයට මහා පිළිලයක් වෙලා තියෙන මේ ටික්ටොක් වසංගතය. නීතිමය ප්‍රතිපාදන තියෙනවා නම් ළමා රක්ෂණ අධිකාරියේ සයිබර් විමර්ශන අංශය කිසිම පැකිලීමක් නැතුව ඒ ගැනත් කටයුතු කරනවා. ඒ වගේම කුඩා දරුවන්ව රියැලිටි සංදර්ශනවලට, වෙළද දැන්වීම්වලට යොදාගැනීම ගැනත් රටේ සැළකිය යුතු පිරිසකගේ වි​රෝධය තියෙනවා. අපි මේ කියන්නේ ළමයින්ව කලාවට යොමු කරන්න එපා කියලා නෙවෙයි. නමුත් අනවශ්‍ය කීර්ති නාම, ප්‍රසිද්ධිය නිසා දරුවන්ව පාසලේදී මගතොටේදී වුණත් අපහසුතාවයට ලක්වෙන්න පුළුවන්. දරුවෙක්ව ළමා චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට සම්බන්ධ කරන එකේ වරදක් නෑ. නමුත් මම මේ රටේ දෙමව්පියන්ගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ දරුවන්ගේ ළමාකම නැතිවෙන විදියට ඒ අයව සමාජයට නිරාවරණය කරන්න එපා කියලා.’’

මෙය සත්‍ය සිදුවීමක් වුවත් මෙකී දැරියන්ගේ නම් හෝ ගම් හෙලිකිරීම සිදුකල නොහැකිය. එය නීත්‍යානුකුල හෝ සදාචාරසම්පන්න නොවන බවයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ලිහිණි මධුෂිකා