විශේෂාංග

තාත්තා ගෙදර එන්න රෑ වෙනදාට අම්මාගෙන් දරුවන්ට දිමිගොටු

මීට මාස දෙකකට විතර කලින් මට කතා කරපු එක්තරා සැමියෙක් ඔහුගේ දුක්අඳෝනාව කියන්න පටන්ගත්තෙම ‘‘වයිෆ් නිසා මට දැන් වහ ටිකක් කාලා මැරෙන්න හිතිලා තියෙන්නෙ’’ කියලා කියාගෙන.

සියදිවි හානි කරගන්න හිතෙන තරමට බිරිඳ කරන අරියාදුව මොකක්ද කියලා ඇහුවට පස්සේ තමයි ඔහු අකුරක් නෑර ඒ සංවේදී කතාව මාත් එක්ක කිව්වේ.

මේ යුවළට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක්ම ගෑනු දරුවෝ. වැඩිමල්ම දරුවට අවුරුදු 12යි. අනිත් දෙන්නා ඊට වඩා අවුරුදු දෙක තුනේ පරතරය ඇති අය.

මේ බිරිඳ තරමක් නපුරු කෙනෙක්. ඒ නිසා විවාහ වුණ මුල් කාලේ ඉඳලම දෙන්නා දෙමහල්ලෝ අතර නොයෙක් වාදබේද ඇතිවෙලා තියෙනවා.

හැබැයි ලොකු දූ ඉපදිලා අවුරුදු හය හතක් යනකොට තමයි මේ කියන ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ.

‘‘දවසක් මොකක් හරි පොඩි දේකට වයිෆ් මාත් එක්ක හොඳටෝම රණ්ඩු වුණා. එතකොට මගේ ලොකු දුව කිසිම දෙයක් නොතේරෙන දරුවෙක්. මාත් එක්ක ආපු කේන්තියට මේ ගෑනි යක්ෂාවේශයෙන් වගේ දරුවට හීන් කෝටුවකින් ගහගෙන ගහගෙන ගියා.’’

දරුවට පහරදීපු නිසා එදා ඔහු ඇයට දිනුම දීලා කරබාගෙන පැත්තකට වෙලා තියෙනවා. හැබැයි සැමියව තමන්ට ඕන විදියට නටවන්න තියෙන හොඳම උපක්‍රමය දරුවෝ කියලා තේරුණු නිසා එදා ඉඳලා ඇය සැමියගෙන් පළිගන්න මේ දරුවන්ව පාවිච්චි කරලා තියෙනවා.

සේරම කුණු බේරේ වැවට වගේ සැමියා ගෙදර එන්න පරක්කු වුණත්, ඔහු ගැන සැකයක් හිතුණත් නැත්නම් වෙන මොන දේ වුණත් ඒ කේන්තිය පිටවෙන්නේ අර අහිංසක දරු පැටව් තුන්දෙනාගෙන්ලු. සමහරදාට ඇය දරුවෝ තුන්දෙනා කාමරයකට දාලා අගුළු දාලත් තියෙනවා.

අරක කළේ නැත්නම් දරුවන්ට උණුවතුර හලනවා, මේක කළේ නැත්නම් දරුවන්ට දිමිගොටු දානවා වගේ බොහොම අමානුෂික කතා කියලා මේ සැමියව බය කරනවලු. ඒ වගේම ඇය එහෙම අසාධාරණ විදියට දරුවන්ට යම් යම් දඬුවම් දීපු අවස්ථාත් තියෙන බව ඔහු කීවා.

මේ සැමියා නැත්නම් තාත්තා මාත් එක්ක ඔය කතා කිව්වේ අඬ අඬ. දරුවන්ට කරදරයක් කරයි කියන බයට ඔහුත් බිරිඳ කියන හැමදේටම එකඟ වෙලා. ඉවසගෙන ඉන්න හිටින්න බැරි තරමට බිරිඳගේ හැසිරීම ප්‍රචණ්ඩ වුණු හින්දා තමයි ඇයව උපදේශනයට යොමු කරන්න හිතලා තියෙන්නේ.

ඇත්තම කිව්වොත් මේ සිදුවීම මගේ වෘත්තීය ජීවිතේ මටත් බොහොම සංවේදීවට දැනුණු සිදුවීමක්. ඉතින් මගේ උපදෙස් මත ඔය සැමියා දවසක් දරුවන්වයි බිරිඳවයි එක්කරගෙන මාව මුණගැහෙන්න ආවා. මම වෙලාව අරගෙන දරුවොත් එක්කත් ටිකක් තනියම කතා කළා.

‘‘අම්මා තාත්තා එක්ක රණ්ඩු කළාම අපිට කෑම උයලා දෙන්නේ නැහැ. ගිහින් තාත්තගෙන්ම ඉල්ලගනින් කියනවා. අම්මා අපිට ගහනවා.’’

ඔන්න ඔය වගේ කතා මහගොඩක් ඔවුන් මාත් එක්ක කිව්වා. අම්මයි තාත්තයි කොයිවෙලේ රණ්ඩු කරයිද කියන බයෙන් තමයි මේ දරු පැටව් ජීවත්වෙන්නේ කියලා මට තේරුණා. ඉතින් උපදේශනයෙන් ඒ දරුවන්ගේ හිත් සුවපත් කරන්නත් මම කටයුතු කළා.

නමුත් ඒ වෙනකොට මේ බිරිඳගේ ප්‍රශ්නය මානසික ව්‍යාධියක් දක්වා දුරදිග ගිහිල්ලා තිබුණා. ඒ නිසා මම ඇයව මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කළා. ප්‍රතිකාරවලින් පස්සේ නැවතත් ඇයව එක්කරගෙන එන්න කියලත් මම මේ සැමියට උපදෙස් දුන්නා.

තමන්ට ඇතිවෙන කේන්තිය ඊ​ට පහල ස්ථරයකින් මුදාහරින එක ගොඩක් අයගේ පුරුද්දක්. පහත් තැනින් යයි ගලා ජලේ කියලා කතාවටත් කියන්නේ ඒකනේ.

හැබැයි දෙන්නා දෙමහල්ලෝ අතරේ ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න හෝ පළිගන්න තමන්​ගේ කුසින් වදාපු, තමන්ගේ ලෙයින් ජාතක කරපු දරු පැටවුන්ව අතකොළු කරගන්න එක නම් අනුමත කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සැමියාගෙන් පළිගන්න දරුවන්ව ළිඳට දාපු අම්මලා, බිරිඳගෙන් පළිගන්න දියණියට අතවර කළ තාත්තලා ගැන පුවත් පවා අපිට ඇහිලා තියෙනවා.

සැමියා එක්ක බිරිඳ එක්ක ඇතිවෙන ප්‍රශ්න ලිහාගන්න දරුවන්ව පාවිච්චි කරන එක හරිම භයානකයි. මේක දරුවන්ගේ අනාගතයට වගේම දෙන්නගේ සම්බන්ධ‍යටත් බොහොම දරුණුවට බලපානවා.මේ වගේ දේවල්වලට මුලදිම වැට බැන්දේ නැත්නම් මේක මානසික ව්‍යාධියක් දක්වා දුරදිග යන්න පුළුවන්. හරියට අපේ කතාවේ කාන්තාවට වුණා වගේ.

ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් මේක බලපාන විදියත් මම ටිකක් කියන්නම්.

ළමා අවධියේදී පහරකෑම්වලට ලක්වෙන දරුවෝ පසුකාලීනව සාමාන්‍ය ජීවිතේදී වගේම විවාහ ජීවිතේදීත් ප්‍රචණ්ඩකාරී වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අනික අම්මා තාත්තා තමන්ට පහරදෙන්නේ වරදක් නැතිව කියන එක අවුරුදු තුන හතරක දරුවෙක්ට නොතේරෙනවා කියලා හිතන්න එපා. මේ වගේ දේවල් නිසා දරුවන්ට මානසික ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අනික මේ ප්‍රශ්න දරුවෙක්ගේ අනාගතයටත් නිතැතින්ම වගේ බලපානවා.

දරුවෝ ඉන්න පවුලක් කියන්නේ අඹුසැමි දෙපළ විතරක්ම නෙමේ. දරුවොත් ඒ පවුලෙම කොටසක්. දරුවන්ට ප්‍රශ්න ඇතිවෙනවා කියන්නේම ඒ පවුල ඇතුළේ සතුට, සැනසීම අතුරුදහන් වෙනවා කියන එකයි. අනික ළමා කාලේ දරුවන්ට, දරුවන්ට වගේ සළක්නනේ නැතිව වයසට ගියාට පස්සේ ඒ අයගේ සැළකුම් බලාපොරොත්තු​ වෙන්න එපා.

මෙතැනදී මම මේ සැමියාගෙත් වරදක් දැක්කා. ඒ තමයි නි යපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කඩන මට්ටමට එනකල් ඉඳපු එක. ඔහු ප්‍රශ්නෙට විසඳුම් හොයද්දි කෝච්චිය යන්න පටන් අරන්.

කවුරුහරි දරුවෙක්ට අමානුෂිකව පහරදෙනවා නම් නීතිමය ක්‍රියාමාර්ගවලට පවා යන්න පුළුවන්. දරුවට පහර දෙන්නේ අම්මද තාත්තද කියන එක එතැනදී අදාළ නැහැ.

තමන්ගේ බිරිඳ සැමියා තමන්ව බය කරන්න හිතාගෙන දරුවන්ට ප්‍රචණ්ඩත්වයට පත් කරනවා නම් නැත්නම් වෙනත් හේතුවක් නිසා හරි දරුවන්ව අමානුෂික විදියට පහර දෙනවා නම්, වද දෙනවා නම් කරුණාකරලා ඔහුව හෝ ඇයව නිසි උපදේශනයකට යොමු කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි