විශේෂාංග

ලිංගිකව එකතු වෙන්න අකමැති නිසා ස්වාමියාට Spa යන්න කිව්වා

‘ධරණී’ හරහා හැමදාම මම ඔබත් එක්ක බෙදාගන්නේ මගේ වෘත්තීය ජීවිතේදී මම අහන දකින සත්‍ය සිදුවීම්. ඉතින් මේ කොතැනකවත් අතිශයෝක්තියක් නැහැ කියන එක මුලින්ම කියන්න ඕනේ.
මම අද කියන මේ යුවළ මාව හම්බෙන්න ආවේ බොහොම මෑතකදී. ඉතින් ඔවුන්ගේ කතාවෙන් ඔබට ආදර්ශයක් දෙන්න පුළුවන් කියන එක ඒ මොහොතේම මට හිතුණා.

මේ සැමියා සහ බිරිඳ මැදිවිය ලබන්න ආසන්න වෙච්චි සම වයස් යුවළක්. ඔවුන්ට අවුරුදු හත අටක දියණියකුත් ඉන්නවා. මේ බිරිඳ යමක් කමක් තියෙන බොහොම වැදගත් පවුලක එකම දියණිය. යෝජිත විවාහයක් හරහා හමුවෙන මෙම දෙපළ මහ ඉහළින් මඟුලක් එහෙම කාලා තමයි විවාහ වෙලා තියෙන්නේ.

විවාහය දා මංගල රාත්‍රියේදි ‘‘මට දැන්මම ළමයි හදන්න බැහැ’’ කියලා මේ බිරිඳ මහහඬින් හඬන්න ගත්තලු. ගෙදර දාලා ආව නිසා බිරිඳ දුකෙන් ඉන්නේ කියලා හිතුව සැමියා ඇයට මුකුත් කියලා නැහැ. ඉතින් එදා මේ යුවළ අතරේ කායික එක්වීමක් වෙලා නැහැ. ඊටපස්සෙත් ඇය දරුවෝ හදන්න බැහැ කිය කියා ලිංගික එක්වීම් මගහැරලා තියෙනවා. කොහොමහරි ඔය විදියට අවුරුදු දෙකක් විතර ගතවෙලා.

දරුවෙක් හදන්න කියලා බිරිඳගේ මව ඔය අතරේ මේ බිරිඳට බල කරලා තියෙනවා. ඊටපස්සේ තමන්ට දරුවෙක් හදන්න අවශ්‍යයි කියලා බිරිඳ සැමියට කියලා තියෙනවා. දරුවෙක් හදනවා කියන්නෙ ඇඳට විතරක් සීමාවෙන දෙයක් නෙමෙයිනේ. ඒකට කාලයක ඉඳලා හරියට සූදානම් වෙන්න ඕනේ. මේ වගේ කාරණා ගැන මූලික දැනුමක්වත් මේ බිරිඳට තිබිලා නැහැ. ඒ නිසා පොත්පත් ගෙනැල්ලා දීලා ඒ සම්බන්ධ කාරණාත් බිරිඳට තේරුම් කරන්න තමන්ට සිද්ධ වුණා කියලා සැමියා කිව්වා.

කොහොමින් කොහොමහරි මේ දෙපළට දරුවෙක් ලැබිලා. ඊටපස්සේ නැවතත් අර බිරිඳ ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කරලා. ලිංගිකව එක්වෙන්නේ දරුවෝ හදන්න විතරයි කියන එක තමයි මේ බිරිඳගේ මතය වෙලා තියෙන්නේ. මේ විදියට කාලයක් ගතවෙද්දී සැමියටත් මේ විවාහ ජීවිතය නීරස වෙලා තියෙනවා. ඒ නිසා ඔහු බිරිඳ එක්ක නිතර නිතර අඬදබර කරන්න පටන් අරන්.

මේ බිරිඳ අඬදබර ඇති කරගන්න කැමති කාන්තාවක් නෙවෙයිලු. ඉතින් ලිංගිකව එකතු වෙන්න අවශ්‍යම නම් වෙනත් කාන්තාවක් සමඟ කායික ඇසුරක් පවත්වන්න තමන්ගෙන් තහනමක් නැති බවත් මේ බිරිඳ සැමියට කියලා තියෙනවා. බිරිඳ කිව්වට මේ සැමියා එවැනි සබඳතා ඇති කරගෙන තිබුණෙත් නැහැ. නමුත් ඔහු මේ ගැන ඔහුගේ මව සමඟ කියලා තියෙනවා. මගේ උපදේශන සේවාවට ඔහුව එවලා තිබු‍ණේ ඇය. සැමියා කිව්ව කරුණු කාරණා අහපු මම දවසක් මේ බිරිඳත් එක්කත් කතා කළා.

‘‘මම හොඳ ලැජ්ජා බයට හැදුනු කෙනෙක්. ඒ වගේ දේවල්වලට මම ආස නැහැ. අනික අපිට දැන් දරුවෙක් ඉන්නවා. ඉතින් ආයෙ ආයෙත් ඒ වගේ දේවල් කරන්නේ මොකටද?’’

ඇය මට දීපු උත්තරය ඒක. මේ බිරිඳගේ ආකල්ප වෙනස් කරන එක බොහොම බැරෑරුම් වැඩක් බව මට තේරුණා. සැමියා වෙනත් සබඳතා ඇති කරගනී කියන බය මේ බිරිඳට තිබුණෙත් නැහැ. මොකද ඇයම ඒ සඳහා ඔහුට අවසර දීලා තිබුණනේ. ඉතින් සැමියා ඇගෙන් වෙන්වුණොත් දරුවාට තාත්තා කෙනෙක් නැති වෙනවා නේද කියන කාරණාව මම මෙතැනදි උලුප්පලා දැක්කුවා. කොහොමහරි උපදේශන සැසි හත අටකින් ඇගේ ආකල්පය වෙනස් කරන්න මට පුළුවන් වුණා.

සැමියා සමඟ ලිංගිකව එකතු වෙන්න අකමැති බිරින්දෑවරුන් ගැන මීට පෙරාතුවත් මම කතා කරලා තියෙනවා. මෙතැන තිබුණේ අකමැත්තටත් වඩා නොදැනුවත්බව. ලිංගික සම්බන්ධතා පවත්වන්නේ දරුවන් හදන්න විතරයි කියලා හිතන බිරින්දෑවරුනුත් ඉන්නවනේ. මේ ලිපියෙන් මට මතු කරන්න ඕනේ අන්න ඒ ගැන.

මේක සමාජයේ ගොඩක් අඹු-සැමියන් අතර තියෙන ප්‍රශ්නයක්. වි‍ශේෂයෙන්ම කියන්න ඕනේ අපේ රටේ ඉන්න බහුතරයක් කාන්තාවන්ට නිසි ලිංගික දැනුමක් නැහැ. ගොඩක් කාන්තාවන් තමන්ගේ ශරීරය ගැන දන්නේ නැහැ. ලිංගික මාර්ගය වෙනයි මුත්‍රා මාර්ගය වෙනයි කියලා නොදන්න බවලතියන් පවා ඉන්නවා. එහෙම අය මට මුණගැහිලත් තියෙනවා.

ලිංගිකත්වය කිව්ව හැටියේ ගොඩක් දෙනාට මතක් වෙන්නෙම ලිංගික එක්වීම විතරයි. නෑ! ලිංගිකත්වය ගැන ඒ තරම් පටු විදියට හිතන්න යන්න එපා. තරුණ යුවතියක් විවාහයට කායිකව, මානසිකව සූදානම් වෙන්නේ කොහොමද? අඹු-සැමියන් වශයෙන් සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වන්නේ කොහොමද? එතකොට උපත් පාලන ක්‍රමවේද, ලිංගාශ්‍රිත රෝගාබාධ, කාන්තාවක් කාලීනව කළ යුතු ලිංගාශ්‍රිත පරීක්ෂණ මේ හැමදේම මේ යටතට අයිතියි. ඉතින් හොඳ බිරිදක් වෙන්න නම් මේ දේවල් ගැන හොඳ දැනුවත්බවක් තිබීම හරිම වැදගත්.

ඒත් අපේ රටේ බොහෝදෙනාට මේ කාරණාව ගැන හරිහමන් දැනුවත් කිරීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාමදෝ අද වෙනකොට ගොඩක් බිරින්දෑවරුන් ලිංගිකත්වය තුළ අසරණයි. සැමියා බිරිඳ ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන්න බයයි. ‘‘සැමියා මොනවා හිතයිද දන්නේ නෑ’’ කියලා හිතනවා. බිරිඳ ඒ වගේ කාරණාවක් ගැන ඇහුවම ‘‘ඔයා කොහොමද ඕවා දන්නේ?’’ කියලා බිරිඳ ගැන පටු විදියට හිතන මහත්වරුත් ඉන්නවා. ලිංගිකත්වය ගැන කතා කරන එක නොහොඹිනා දෙයක් කියලා පොඩි කාලේ ඉඳලම ළමයින්ගේ ඔලුවට දාන එකේ ප්‍රතිඵලය තමයි ඒ.

සාර්ථක පවුල් ජීවිතයකට ආදරය, පිළිගැනීම, ඇගයීම වගේම යහපත් ලිංගික ජීවිතයක් පවත්වා ගැනීමත් අත්‍යවශ්‍යයි. ඒක කායික අවශ්‍යතාවයටකටත් වඩා මානසික අවශ්‍යතාවයක්. ඉතින් අඹු-සැමියන් අතරේ මේ අඩුපාඩුව පැනනැගුනොත් එතැන අනවශ්‍ය පවුල් ආරවුල් ඇතිවෙන එක වළක්වන්න අමාරුයි.

ගොඩක් දෙමාපියෝ දරුවෝ හදන්නෙ වීදුරු කූඩුවල දාලා. මේ වගේ කරණා ළමයින්ට ඇහෙන්නවත් දෙන්නේ නෑ. ඔහොම ඉඳලා ඉඳලා දරුවෝ තරුණ වුණාම ලෝකෙට ණයවෙලාහරි මහ උජාරුවට මඟුලක් කාලා දරුවෝ විවාහ කරලා දෙනවා. එහෙම එකපාරම අතඇරියම විවාහ ජීවිතය ඇතු‍ළේ අර දරුවන් අතරමං වෙනවා. රටටම කියලා දවස් හතක් මඟුල් කන ගොඩක් අය මාසෙන් දෙකෙන් දික්කසාද වෙලා ගෙදර එන්නේ ඒකයි.

ඒ වගේම තමයි ලිංගිකත්වය කියන කාරණයේදී තමන්ගේ පුතාට බිරිඳට ගරු කරන්න උගන්නන්නත් අම්මා කෙනෙක්ට යුතුකමක් තියෙනවා.

හැබැයි දෙමව්පියන්ට වුණත් දරුවන්ව දැනුවත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ එහෙම සීමාවක් ඔවුන්ම දාගෙන තියෙන නිසා. ඉතින් විවාහ වෙන්න ඉන්න යුවළ පූර්ව විවාහ උපදේශනයකට යොමු කරන එක තමයි දෙමව්පියන්ට වුණත් කරන්න තියෙන හොඳම දේ.
පෞද්ගලික උපදේශන සේවාවලින් විතරක් නෙමෙයි රජයේ සායනවලින් පවා නොමිලේම මේ පූර්ව විවාහ උපදේශන සේවා ලබාගන්න පුළුවන්. විවාහ වෙන්න ඉන්න යුවළකට විතරක් නෙවේ විවාහක යුවළකට වුණත් වාර්ෂිකව හරි මේ වගේ උපදේශනකයට යන්න පුළුවන් නම් සතුටින් සාර්ථක පවුල් ජීවිතයකට පාර හදාගන්න අමාරු නැහැ. ඒකට පවුල ඇතුළේ ප්‍රශ්න තියෙන්නම ඕනේ නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා

රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි