ප්‍රීතිමත් ජීවිතයකට

ඇති හැකි කාලේ ආදරේ කරලා නැති බැරි කාලේ අතෑරලා දාමුද?

පවුල් උපදේශන සේවාවක් ලබාගන්න එකට දෙන්නා දෙමහල්ලන්ගේ වයස කොහොමත් පරහක් නෙවෙයි. මේ කියන්නෙත් ටිකක් වයස්ගතවෙලා උපදේශනයට ආව යුවළක් ගැන. එතකොට ඒ සැමියගේ වයස හැට දෙකක් විතර ඇති. මතක විදියට බිරිඳට පනස් එකක් හෝ දෙකක් වෙනවා.

මේ බිරිඳ ආර්ථික අතින් ස්ථාවර පවුලක කෙනෙක් නෙමේලු. හැබැයි සැමියා නම් පාරම්පරික සල්ලිකාරයොලු. ඉතින් ඒ කාලේ ඔහුගේ ගෙදරින් මේ මංගල්‍යයට කැමතිවෙලා නෑ. ඒත් ඔහු මේ කාන්තාව මත්තෙම හිටි නිසා අවසානෙදි ගෙදරින් මේ මඟුලට කැමති​ වෙලා.

ඉතින් මේ යුවළ විවාහ වෙලා බොහොම ආදරෙන් ඉඳලා තියෙනවා. මේ බිරිඳත් ඒ කාලේ තමන්ගේ සැමියට බොහොම හොඳට සලකලා තියෙනවා.

මුදල් එහෙම යහමින් ගැවසුණු නිසා මේ සැමියා කාලයත් එක්ක බීමට ටිකක් බරවෙලා. හැබැයි එහෙමයි කියලා ඔහු බිරිඳට නොසලකා ඉඳලාත් නැහැ. මේ බිරිඳගේ නමින් වෙනම නිවසක් පවා ඔහු අරගෙන තියෙනවා.

ඉතින් ​ඔහොම ඉන්නකොට දැනට අවුරුදු තුන හතරකට කලින් මේ සැමියට අක්මාව ආශ්‍රිත රෝගයක් වැළඳිලා තියෙනවා. මේ පවුලේ ප්‍රශ්න ඇතිවෙන්න අරන් තියෙන්නේ ඊටපස්සේ.

මේ ස්වාමිපුරුෂයාගේ අසනීපයත් එක්ක ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අඩපණ වෙලා. හැබැයි නිවාස කිහිපයක්ම කුලියට දීලා තිබුණු නිසා ඔවුන්ට ආර්ථික ගැටලුවක් ඇතිවෙලා තිබු‍ණේ නැහැ.

ආර්ථික ගැටලුවක් නොතිබුණත් ව්‍යාපාරයේ කටයුතු අඩාල වුණු එක ගැන බිරිඳට තරහක් ඇතිවෙලා. ඒ නිසා ඇය නිතරම වගේ සැමියට ඇණුම්පද කියන්න පටන් අරන්. ඒ විතරක් නෙමේ ඇය සැමියගේ අසනීප තත්ත්වය ගැන සලකලත් නැහැ. මේ දෙපළට දරුමල්ලොත් නැහැලු. ඒ නිසා ඉතින් සැමියා මෙතැනදි හරියට අසරණ වෙලා.

‘‘මේ ලෙඩේ ගැන දැනගත්තු දවසේ ඉඳලා මගේ වයිෆ් මට සලකන්නේ හතුරෙක්ට වගේ මිස්. මම කනවද බොනවද කියලාවත් බලන්නේ නෑ. කොටින්ම කිව්වොත් මගේ බේත් ටිකවත් වෙලාවට දෙන්නේ නෑ.’’

සැමියා ඔහොම මාත් එක්ක කිව්වේ පොඩි දරුවෙක් වගේ අඬ අඬා. අනික ඇය අසනීප සැමියා ලව්වා නිවසේ වැඩ කටයුතු පවා කරවගෙන තියෙනවා.

ඇඟේ අමාරුවට නිදාගෙන හිටියත් ‘‘පුදුම ලෙඩක්නේ මේක. මෙයාට විතරයි මේ ලෝකෙන්ම ලෙඩ හැදෙන්නේ. හොර ලෙඩ!’’ වගේ ඔලොක්කු කතා කියනවලු.

මේ සැමියා මාව මුණගැහෙන්න ඇවිල්ලා හිටියේ බිරිඳ එක්කමයි. සැමියගේ බාල සහෝදරයා තමයි ඔවුන්ව මගේ ළඟට එක්කරගෙන ඇවිත් තියෙන්නේ. සැමියා එක්ක තනියම කතා කරලා අවසාන වුණාට පස්​සේ මම බිරිඳත් එක්කත් ටිකක් තනියම කතා කළා.

‘‘පුළුවන් කාලේ කාලා බීලා ජොලි කළා. දැන් ඒවගේ කරුම ගෙවන්න වෙලා තියෙන්නේ මට. මම මොකටද බලන්නේ? ඒවා එයා විහින් කරගත්තු දේවල්නේ. අනික ඔය කියන තරම් අමාරුවක් එයාට නැහැ.’’

ඔන්න ඔය විදියට බිරිඳ පැය බාගයක් විතර සැමියට මාත් එක්කලා දොස් කිව්වා.

සැමියා ඇය වෙනුවෙන් කරලා තිබුණු කැපකිරීම් ගැන ඇයට නිනව්වක් තිබු‍ණේ නෑ. ඒ නිසා ඔහු ඇය වෙනුවෙන් කළ කැපකිරීම් ගැන මම ඇයත් එක්ක කතා කළා.

ඉතින් උපදේශන වාර කිහිපයකින් ඇගේ සිතුම් පැතුම් වෙනස් කරන්න මට පුළුවන් වුණා. බිරිඳගේ නොසලකාහැරීම් සහ තමන්ට වැළඳිලා තියෙන අසනීපය නිසා සැමියා විශාල මානසික පීඩනයකයි හිටියේ. ඔහුට මේ අසනීපය වැළඳිලා තිබුණේ ඔහුගේ බීමත්කම නිසා. එය අනුමත කරන්න බැහැ. ඒත් ඔහු හිටි තත්ත්වයත් එක්ක ඔහුගේ හිත පාරන්න මට අවශ්‍ය වු‍ණේ නැහැ. ඒ කොහොම නමුත් ඔහුගේ මානසික පීඩනය යටපත් කරන්නත් මම කටයුතු කළා.

අඟහිඟකම් ඉස්සරහ දොරට තට්ටු කරනකොට දෙන්නගේ ආදරේ පස්සේ දොරින් පැනලා දුවනවා කියලා කතාවක් තියෙනවනේ. අඟහිඟකම් නොතිබුණත් මේ බිරිඳ සැමියාට වෛර බඳින්න මුලික හේතුව ව්‍යාපාරය බිඳවැටීම. ඇති-හැකි කාලේ තියෙන ආදරේ නැති-බැරි කාලෙට නැතිවෙනවා නම් එතැන සැබෑ ආදරයක් තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.

කාන්තාව කියන්නේ ස්වභාවයෙන්ම ටිකක් භෞතික දේවල්වලට කැමති කෙනෙක්. හොඳ ආර්ථික ශක්තියක් තියෙන කාලෙදි සැමියා එක්ක හොඳින් ඉඳලා ආර්ථික ප්‍රශ්න ඇති වුණාම වෙනත් විවාහයන්වලට ගියපු කාන්තාවන් මට මුණගැහිලා තියෙනවා. ඇත්ත! ජීවත්වෙන්න ඔය කියන දේවල් ඕනේ. හැබැයි රැකියා කියන දේවල්, ව්‍යාපාර නැති වෙන්න මහවෙලාවක් යන්නේ නැහැනේ. ඉතින් එහෙම වෙලාවක බිරිඳක් කරන්න ඕනේ ‘‘අපි මේකට එකට මූණදෙමු. අපිට පුළුවන්’’ කියලා සැමියගේ හිතට ශක්තියක් වෙන එක මිසක් ඔහුව තව තවත් කඩලා බිඳලා දාන එක නෙමෙයි.

ඊළඟ කාරණාව තමයි අතපය හයිය කාලේ හොඳට ඉඳලා අසනීප වුණාම අතඇරලා දාන එක. එහෙම කතා කීයක් නම් අපි මේ සමාජයෙන්ම අහලා දැකලා තියෙනවද? මම දන්න එක යුවළක් හිටියා මේ බිරිඳ බොහොම රූමත්. ඇගේ සැමියාත් ඇයට බොහොම ආදරෙයි. කාලයක් යද්දි ඇයට පිළිකාවක් වැළඳුනා. හිතාගන්න බැරි විදියට ඇය කෘශ වුණා. ඇගේ රූපය වෙනස් වුණා. ඉතින් අර සැමියා ඒත් එක්කම ඇයව අතඇරලා දැම්මා. අසනීප වුණාම ඒ විදියට අතඇරලා දානවා නම් එතැන මොකක්ද තියෙන ආදරේ? ගැහැනු පිරිමි දෙපාර්ශවයම මේ වරද කරනවා. ඒත් බිරිඳකගේ පැත්තෙන් මම තව ටිකක් මේ ගැන පැහැදිලි කරන්නම්.

පිරිමියෙක් හොයන්නේ එයාගේ අම්මා වගේ සහකාරියක් කියලා කතාවක් තියෙනවා අහලා තියෙනවා නේද? ඔය කතාව ඇතුළේ ගැඹුරු සංකල්පයක් තියෙනවා. අම්මා වගේ කෙනෙක් හොයනවා කිව්වම ගොඩක් අයගේ ඔලුවට යන්නේ අම්මා වගේ රූපය තියෙන කෙනෙක්ව හොයනවා කියන එකයි. එහෙම නෙමෙයි හැම පිරිමියෙක්ම තමන්ගේ අම්මාගෙන් ලැබුණු ආදරය, කරුණාව, දයාව තමන්​ගේ බිරිඳගෙනුත් බලාපොරොත්තු වෙනවා.

සප්තභාර්යා සූත්‍රයේත් බුදුහාමුදුරුවෝ භාර්යවන් හත්දෙනෙක් පෙන්වලා දීලා තියෙනවනේ. යම් කාන්තාවක් තමන්ගේ ස්වාමියා ගැන හිතානුකම්පාවෙන් පුත්‍රයා රකින මවක් වගේ සැමියාව රැකබලාගන්නවා නම් ඇයව හඳුන්වන්නේ මාතෘ භාර්යාවක් විදියටයි. ‘‘මගේ හස්බන්ඩ් නිතරම අසනීප​ වෙනවා, තොත්ත බබෙක් වගෙයි’’ කියලා බිරියන්ගෙන් නිතරම පැමිණිලි එනවා. ඒ කාරණාවේ ඇත්තක් නැත්තේ නැහැ. පිරිමියා කියන්නේ අසනීප වේදනා දරාගන්න පුළුවන් කෙනෙක් නෙවේ. ඒ වගේම ඒ අය අසනීප ගැන අනවශ්‍ය විදියට හිතනවා. ඒක ඔවුන්ගේ ජීවවිද්‍යාත්මක ස්වභාවය. ඒ අතින් බැලුවම කාන්තාව බොහොම ශක්තිමත්. කාන්තාවට දරුවෙක් ප්‍රසූත කරන්න පුළුවන් ඒකනේ. ඉතින් බිරිඳක් විදියට මේ කාරණාව තේරුම් ගන්න. සැමියා අසනීප වුණාම වචනෙකින් හරි ඔහුගේ හිත හදන්න. ඒකෙන් ඔහුට ලොකු මානසික අස්වැසිල්ලක් ලැබෙනවා. ඇප උපස්ථාන කරන්න. එහෙම කළා කියලා කාගෙවත් අතපය ගෙවෙයි කියලා මම හිතන්නේ නැහැ.

හැබැයි සමහර සැමියොත් ඉන්නවා බිරිඳ මැරෙන්න වැටිලා හිටියත් ගෙදර බත උයලා නෑ කියලා හට්ටි මුට්ටි පොඩි කරන. එහෙම නෙමෙයි, බිරිඳට අසනීපයක් වුණාම පුළුවන් විදියට ගෙදරදොරේ වැඩ ටික කරන්න. ඒක තමයි නියම මහත්මා ගතිය.

අනික සැමියා වේවා බිරිඳ වේවා දරුණු අසනීපයකින් පෙළෙනවා නම් නිතරම ඔහුව/ඇයව සතුටින් තියන්න උත්සාහ කරන්න. ඒක තමයි විවාහයක නැත්නම් ආදරේ සැබෑම අරුත. බිරිඳක් කිව්වම ඒ චරිතය ඇතු‍ළ් තවත් චරිත තියෙනවා. ඒ නිසා නිතරම සැමියට අම්මා කෙනෙක්, මිතුරියක්, ගුරුවරියක්, හෙදියක් වෙන්න. ඒ වගේමයි ඕකේ අනිත් පැත්තත්. මේ කියන යුතුකම් සැමියාටත් ඒ විදියටම අයිතියි කියලා අමතක කරන්න එපා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි