විශේෂාංග

නිවසේ සිටිනා කොරෝනා රෝගියෙකුට ඔක්සිජන් අවශ්‍ය බව දැනගන්නේ කොහොමද?

‘කොරෝනා තමන්ගේ ගේ දොරකඩට එනකල් කාටවත් ඒකෙ බරපතළකම තේරෙන්නේ නැහැ.’ සුබෝධිනී කල්පනා කළේ ඒ වදන් ගැන. පහුගිය කාලේ සෞඛ්‍ය අංශ නිතර දෙවේලේ කිව්ව කතා එකින් එක ඇයට මතක් වුණා. ප්‍රවෘත්තිවලට පෙන්වන කොරෝනාවේ දුක්බර දසුන් දකිද්දී හදවත වේගවත් වුණේ, ඈතින් තිබුණු කොරෝනාව දැන් තමන්ගේ ගෙදරටත් රිංගලා අවසාන නිසයි.

සුබෝධිනී වරින්වර සැමියා ඉන්න කාමරේට කරපොවා බැලුවා.

පුංචි පුතයි, දුවයි අල්ලපු කාමරේ. පුතාගේ වයස අවුරුදු අටයි. දුවට අවුරුදු හයයි. වරින්වර උණ අඩුවෙමින් වැඩිවෙමින් යද්දී සුබෝධිනීගේ හදවත වේගවත් වෙනවා. ඇය වරින්වර තුන්දෙනා හුස්ම ගන්න රටාව නිරීක්ෂණය කරන්නේ ඇයට MOH කාර්යාලයෙන් ලැබුණු උපදෙස් අනුවයි.

අමාරු වැඩි වුණොත් රෝහලකට යන්න තියෙන අමාරුව ගැන සුබෝධිනී දැන් දන්නවා. උණුවතුර වාෂ්පය අල්ලන එක, කොත්තමල්ලි බොන එක, කැඳ, උණුවතුර බොන එක වගේම අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන ගැනත් ඇය දැනගෙන හිටියා.

නිතර මේ කාමරේට එන්න එපා. ඔයා මාස්ක් එක මාරු කරන්න කාමරේට ඇවිත් ගියහම.”

සැමියා කිව්වේ සුබෝධිනීගේ ආරක්ෂාව ගැන හිතලා. PHI මහත්තයා කිව්ව විදිහට රෝගී තුන්දෙනාගෙන් කෙනෙක් වැසිකිළි ගියහම ඒ සෑම වතාවකම වගේ ඇය වැසිකිළිය විෂබීජානුහරණය කළා.

මුලදී බය වුණත්, ටිකෙන් ටික ඇය පවුලේ අය වෙනුවෙන් කැපවුණේ හිතට ආපු පුදුමාකාර ශක්තියත් එක්ක. ඒ ශක්තිය හිතට එන්න රෝගය ගැන නිවැරදිව දැන සිටීම ඇයට පිටිවහලක් වුණා.

කොරෝනා වෛරසය පෙනහලු ආසාදනය කරන්නක් නිසාම, ඒ ගැන තව තවත් දැනගන්න ඇයට ඕන වුණා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා වැළඳුණු අයෙකුට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව ගැනත්, නිව්මෝනියා තත්ත්වයට පත්වීම ගැනත් කරුණු අනාවරණය කළා.

අපි මතක තබාගත යුතු කරුණක් තමයි මෙය ප්‍රධාන ලෙසම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක්. මෙම වෛරසය පෙනහලුවලට ඇතුළුවෙලා නිව්මෝනියාව දක්වා වර්ධනය වුණොත් තමයි විශාලම ගැටලුවක් ඇතිවෙන්නේ. කොරෝනා වැළ‍දෙන හැමදෙනාටම නිව්මෝනියාව එන්නේ නෑ. ඒ වගේම නිව්මෝනියාව ඇතිවන හැමෝටම බරපතළ වෙන්නෙත් නෑ. තම තමන්ගේ ප්‍රතිශක්තිය ඊට බලපානවා. කොහොම නමුත් එම තත්ත්වය නිවැරදිව හඳුනාගත යුතුයි. එවිට රෝහල්ගත කළොත් අදාළ පුද්ගලයා සුව කරන්න පුළුවන්. ඒ බව සොයාගන්නේ කොහොමද කියන කාරණය ඊළඟට වැදගත් වෙනවා. පියවර 10-12ක් ඇවිදිද්දී හති එනවා නම්, දුරකතනයෙන් කතා කරද්දි ඔයාට හති නේද කියලා අනෙක් පස සිටින කෙනා කියනවනම්, ඔබ ඔබේ ප්‍රදේශයේ PHI මහත්මයා දැනුවත් කරලා රෝහල්ගත වීම එහිදී වැදගත් වෙනවා. මේ තත්ත්වය තුළ ඇඳේම ඉන්න කෙනෙකුට නම් ඒ දැනෙන අපහසුව අඩුයි. ඒත් ඔක්සිජන් මට්ටම අඩුවෙලා තියෙන්න පුළුවන්. ඔක්සිජන් ප්‍රමාණය 94%ට අඩු නම් ස්පන්ධන ඔක්සිමීටරේට අනුව එය 94-95 අගයක තිබෙනවා නම් එම පුද්ගලයාව රෝහල්ගත කළ යුතුයි.”

එහෙම කිව්වත්, අද රෝහල් ආශ්‍රිතව තියෙන තත්ත්වය ඉතාම ශෝචනීය බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඩෙල්ටා ප්‍රභේදය මොනතරම් ඉක්මනට පැතිරිලා යනවද කියනෙක රෝහල් මෝචරිවල මිනී ගොඩගැහිලා තියෙන අයුරු දැක්කම හඳුනගන්න පුළුවන්. ඒත් තවමත් මාස්ක් නොදා පාරේ එහා මෙහා යන, පොලිසියට පාට් දාන ගැහැනු මිනිස්සු ඉන්නවා. තවත් පිරිසක් මාස්ක් එක නිකටේ දාගෙන වගක් නැතුව ඇවිදිනවා.

සුබෝධිනී ඔක්සිමීටරය අතට ගත්තේ පුංචි පුතා දෙතුන් විටක් අමාරුවෙන් කහින හඬ ඇසුණ නිසයි.

රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවූ විට දකින්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඉහත කිව්ව කාරණාවලට අමතරව අට වාරයක් දස වාරයක් පුටුවක හිඳ ගැනීම හෝ නැඟිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයකදී හතියක් ඇතිවේදැයි පරීක්ෂා කරගන්න ඒ අනුව හැකියි.

නිවසේ සිට ප්‍රතිකාර ගන්න රෝගීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. එහිදී රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැන බලන එක වැදගත් වුණත් සෑම නිවසකම ඔක්සිමීටර් නැහැ. එහෙම අවස්ථාවක ඉහත කී රෝග ලක්ෂණ අනුව රෝගියාගේ තත්ත්වය බරපතළ වෙමින් ඇති බවට අනුමාන කළ හැකියි. එහිදී නිතර පවතින පපුවේ බර ගතිය, පපුවේ වේදනාව, තොලකට වියැළීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි විජලනයේ ලක්ෂණත්, සිහි කල්පනාව වෙනස්වීම ආදී ලක්ෂණ වේ නම් ඒ රෝගියා රෝහල්ගත කළ යුතු වගේම වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාවක් බව සඳහන් කළ යුතුමයි.

ඒ වගේම නිවසක කොරෝනා රෝගියෙක් රැකබලා ගනිද්දී උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියම කරන ඖෂධ නිසි පරිදි රෝගියාට ලබාදීම වැදගත් වෙනවා.

කොහොම නමුත් ස්පන්ධන ඔක්සිමීටරය ගැන බොහෝදෙනා කතා කරන නිසාම එය භාවිතා කිරීම ගැනත් දැනුම වැදගත් කියලයි සුබෝධිනීට හිතුණේ. ඇය ඒ ගැනත් වෛද්‍යවරයාගෙන් ඇහුවා.

ඇතැම් අවස්ථාවල රෝග ලක්ෂණ දැඩිව පෙන්නුම් නොකරත්, රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. එය දිගින් දිගටම වුණොත් එමගින් ජීවිත අවධානම ද ඇතිවෙනවා. එවිටයි ඔක්සිමීටරය වැදගත් වෙන්නේ. එහිදී පැය හතරකට වරක් රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීම කළ යුතුයි. අප ඉහත කී ක්‍රියාකාරකමකින් පසුව (ඇවිදීම හෝ පුටුවක හිඳගැනීම, නැඟිටීම) එය මැන බැලීම වඩාත් උචිතයි.

මෙහිදී ඔක්සිමීටරයේ දැක්වෙන අගය 92ට වඩා අඩු නම්, එම පුද්ගලයාට බාහිර ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය වන අතර 94ට වඩා අඩු මට්ටමක එය දැක්වෙන අවස්ථාවේ සිට වඩාත් රෝගියා ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා.”

සුබෝධිනී මේ හැම කරුණක් ගැනම උනන්දු වුණා වගේම, ඇඳ විවේකය කියන කාරණය කොරෝනා රෝගියෙකුට විශේෂයි කියලා ඇය තේරුම් ගත්තා. ඒ නිසා ඔක්සිමීටරය තිබුණත් එය පරීක්ෂා කරන්න දිනකට දෙවරකට වඩා ඇවිදීම සුදුසු නෑ කියලා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියපු කාරණය ඇය මතකයේ තියාගත්තා. ඒ වගේම තවත් කාරණයක් වෛද්‍යවරයා සිහිපත් කළා.

වරක් මගේ වාට්ටුවක ප්‍රතිකාර ලබපු කොරෝනා රෝගියෙක් ඔක්සිජන් උපකරණය ගලවලා කෑම කන අවස්ථාවක් මම දැක්කා. ඔහු ඔක්සිජන් ධාරිතාව වැඩිපුර ලබාදුන් අයෙක්. එම අවස්ථාවේ මම ඔහුගේ ඔක්සිජන් අගය බැලුවා. එය සටහන් වෙලා තිබුණේ 70%ක් විදිහට. ඒත් ඔහු කිව්වේ ඔහුට ලොකු අමාරුවක් නෑ කියලයි. මෙය බරපතළ තත්ත්වයක්. ඔක්සිජන් අගය අඩුවෙලා තිබුණත් එය රෝගියාට දැනෙන්නේ නැහැ.”

මේ හැමදෙයක් අතරෙම තමනුත් පරිස්සම් වෙලා තමන්ගේ ආදරණීයයන්ව ගෙදරම රැකබලා ගත යුතු දවස් එළැඹිලා. ඩෙල්ටා පැතිර යන වේගයත් එක්ක ගෘහස්ථ නිරෝධායනය මිස වෙනත් විකල්පයක් නැති පසුබිමක ගෘහනියක්, මවක්, බිරිඳක්, කාන්තාවක් හැටියට ඔබ ශක්තිමත්ව ඒ අවස්ථාව කළමනාකරණය කරගත යුතුයි. ඒ වගේම ඒ පිළිබඳව පවුලේ සැමදෙනාම ලබන දැනුම ද ඉතා වැදගත් වෙනවා. තමන්ගේ වයෝවෘද්ධ දෙමාපියෝ, දරුවෝ, පවුල් පිටින් රෝගය ආසාදනය වීමේ පසුබිමක් පවතිද්දී, ගැහැනු පිරිමි කියලා භේදයක් නොමැතිව පවුලේ ආදරණීයයා රැකබලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ පවුලේම සාමාජිකයෙකු වෙත බව අපි කවුරුත් අමතක නොකළ යුතුයි.

දීපා වසන්ති එදිරිසිංහ