විශේෂාංග

මගේ ඡායාරූප විකෘති කළ පුද්ගලයා අවුරුද්දකට හිරේ ගියා

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමවන්නේ ආදරය නොදන්නා උන් සබඳතාවල පැටලුණු විටය. එවැන්නෝ ආදරය නොදනිති. ආදරය නොකරති. සන්තකය පතති. හිමිකම අහිමි වූ දාට සිය පාර්ශවකරු විනාශය කරා ගෙනයාමට පිඹුරුපත් සකසති.

මේ කතාවේ කතා නායිකාව අපි ‘මධූ’ ලෙස හඳුන්වමු. නව යෞවන වියේදී ඈ ප්‍රේමයක පැටලුණාය. එහෙත් බොහෝ පාසල් ප්‍රේමයන්ට අත්වන ඉරණම එයටද හිමිවිය. සබඳතාව බිඳී ගියේය. කතාව ඇරඹෙන්නේ එතැනිනි. මධූ සාමාන්‍ය පරිදි සිය කටයුතු කරගෙන ගියාය. ඒ 2015 වසරේ පමණ ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා මෙරට ප්‍රචලිතවෙමින් පැවති අවදියයි. මධූ සිය පෙම්වතාට පමණක් යැවූ සෙල්ෆි ඡායාරූප යොදා අසත්‍ය ෆේස්බුක් ගිණුමක් සාදා තිබිණ. මධූගේ ඡායාරූප සියල්ල එහි පළකර තිබුණේ නිරුවත ඉස්මතු වන පරිදි විකෘති කිරීමෙනි. ඒ ගිණුම අක්‍රිය කිරීමට මධූ සහ ඇගේ මිතුරු සමූහයට හැකිවිය. කෙසේ වෙතත් ඒවා වැඩි පිරිසක් අතර සංසරණය නොවූ බැවින් මධූගේ ජීවිතයට විශාල බලපෑමක් නොවීය.

අළු යට වූ ගිනි පුපුරු 2018 වසරේදී යළි මතුවිය. ඒ වනවිට මධූ වෛද්‍යවරයකු සමඟ පෙමින් වෙලී සිටියාය. අසභ්‍ය ලෙස සැකසූ ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවි කිහිපයක් සහ ෆේස්බුක් ගිණුම් කිහිපයකින් යළි මිනිසුන් අතරට යවා තිබුණි. එම ගිණුම්වලට මධූගේ නෑ හිත මිතුරෝද එක්ව සිටියහ. එහෙත් එවරද මධූ කඩිනමින් ක්‍රියාත්මක වූවාය. ඒ වනවිට මේ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ගයකට යොමු නොවුණද ඉහත ප්‍රකාශන සියල්ල ඉවත් කරවීමට මධූට හැකියාව ලැබිණ. එය මනසට කෙතරම් පීඩාකාරී වුවද සියල්ලට මුහුණ දීමට තරම් ශක්තියක් මධූ සතුවිය. පවුලේ අය මෙන්ම යහපත් මිතුරු කැලක් ඇය වටා සිටීමද ඊට හේතුවිය. ජීවිතයේ ඇතැම් නරක කාලවලදී අපට හොඳම තෝරා ගැනීම්වලට ඉඩ ලැබේ. අපව ඔසවන්නේ කවුද, පහතට හෙළන්නේ කවුද යන්න දැනගැනීමට එය කදිම අවස්ථාවකි. මධූට මිනිසුන් හඳුනාගැනීමට මේ සිදුවීම බොහෝ උදව් කළේය.
කන්ද උඩරට සිය නිජබිම වූ මධූ පසුකාලීනව හෙදියක ලෙස රාජකාරි ඇරඹුවාය. ඉන්පසු මධූට එරෙහි ව්‍යාපාරය වෙනස් මුහුණුවරකින් නැවත මතුවිය.

‘‘2020 වසරේදී එක්තරා දේශපාලන පක්ෂයකට අයත් ෆේස්බුක් පිටුවකට මගේ ඡායාරූප විකෘති ලෙස සකසා ඇතුළත් කර තිබුණා. ඒ අතර මුල් කාලයේ අන්තර්ජාලයට එකතු කළ ඡායාරූප වගේම මා හෙද නිල ඇඳුමෙන් සැරසුණු ඡායාරූප පවා තිබුණා. මගේ ෆේස්බුක් ගිණුමෙන් ඩවුන්ලෝඩ් කරගත් ඡායාරූපත් විකෘති කර එකතු කරලා. මගේ නම, ගම, පවුලේ තොරතුරු, පදිංචිය සහ වෘත්තිය ආදී සියලු පෞද්ගලික දේවල් එහි පළකර තිබුණා. ඒවා ඉතාම ඉක්මනින් වයිරල් වුණා. ඒකට හේතුව තමා කොවිඩ් වසංගතය සමඟ රට ලොක්ඩවුන් කර තිබීමත් එක්ක මිනිස්සු වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම. ඒ එක්කම වට්ස්ඇප් ප්‍රයිවට් ගෲප් කියන එකත් ඒ දවස්වල වැඩියෙන් යූස් වුණා. ඒවා මගිනුත් මේ ඡායාරූප සියල්ල ලංකාව පුරාම සංසරණය වුණා. මේ අවස්ථාවේ මං ඉතාම තදබල මානසික පීඩාවකට මුහුණ දුන්නා. මං රාජකාරි කරන රෝහලට එකදිගට කෝල්ස් එන්න ගත්තා. ඇතැම් රාජකාරී සගයන් ඒ පින්තූර සත්‍ය බව පැවසුවා. සමහර ඡායාරූපවල තිබූ යටඇඳුම් මා පාවිච්චි කරන බව ඔවුන් දැක ඇති බවත් ඇතැමුන් කිව්වා. ඔවුන්ට ඕන වුණේ මේවා ඇත්තම බව ඒත්තු ගන්වන්න. අවුරුදු ගාණක් පුරා මේ සිදුවීම ඇදීගෙන ආවා කියන එක කිසි කෙනෙක් දන්නෙ නැහැනෙ. නර්ස් කෙනෙක්ගේ ෆොටෝස් ලීක් වෙලා කියලා හැමදෙනාම මේ ගැන හොයන්න ගත්තෙ ඔය වෙලාවෙ. මට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවද කියලා වෘත්තීය සමිති පවා ප්‍රශ්න කර තිබුණා. මං ඒ වෙලාවේ පැහැදිලි කළා මා සමඟ තිබෙන පෞද්ගලික තරහකට කාලයක සිට මේ දේ සිදුවෙනවා කියලා. ඒත් කලින් නීතිමය පියවර ගන්න තරම් අවබෝධයක් නොතිබුණත් දැන් නීති මාර්ගයෙන් ක්‍රියා කරන බව මම කිව්වා. ඊට පහුවෙනිදම මම පදිංචි ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ලක් කළා. පසුව ළමා හා කාන්තා කාර්යාංශයට ගියා. එතැනින් මාව යොමු කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා අපරාධ ඒකකයට. එතනට මම ලිඛිතව වගේම වාචිකව පැමිණිලි කළා. මේ වැඩේ දිගින් දිගටම විසි වතාවක් පමණ වුණා. මම ඒ පින්තූර අයින් කරගන්නවා. ඒ කෙනා ආයෙම දානවා. ඒ පුද්ගලයා තොරතුරු තාක්ෂණය ගැන හොඳට දන්න ඒ ආශ්‍රිත රැකියාවක් කරන කෙනෙක්. ඒ නිසා ඉතාම උපක්‍රමශීලීම වැඩිම පිරිසකට මේවා ගෙනියන්න හැකි විදියට තමා මේ වැඩේ කළේ. මගේ පවුලේ අයගේ ෆේස්බුක් ගිණුම්වලට පවා ඒවා දාලා තිබුණා. ආචාර ධර්ම ඉහළින්ම සලකන රැකියාවට වගේම මගේ පෞද්ගලික ජීවිතයටත් මේකෙන් විශාල බලපෑමක් වුණා. මේක දරාගන්න කොයිතරම් අසීරු වුණාද කියනවනං මට වෛද්‍ය උපදෙස් ලබාගන්නත් වුණා. මං ස්ථාන මාරුවීමක් පවා ගත්තා. ඕනම සිදුවීමකදී දෙපැත්තටම මිනිස්සු ඉන්නවා. මා හැමවෙලාවෙම මං නිවැරදි නිසා මා ගැන විශ්වාසෙ තියාගෙන වැඩ කළා. මිනිස්සුන්වත් හොඳින් අඳුනගත්තා.’’

මේ සිදුවීම කළ පුද්ගලයා ගැන සැකයක් පැවතියද තොරතුරු තාක්ෂණය පිළිබඳ තිබූ අවබෝධය නිසාම ඉතා සූක්ෂමව ක්‍රියා කළ ඒ තැනැත්තා අනාවරණය කරගැනීම පහසු නොවීය. එහෙත් අවට සිටි අයගේද උදව් මත මෙය අතැර නොදැමීමට මධූට හැකිවිය. සමාජ මාධ්‍ය අපරාධ අංශයට ඈ කීප වතාවක් පැමිණිලි කළාය. තමාට මේ සිදුවීමෙන් විය හැකි බලපෑම ගැන ඈ කරුණු ඉදිරිපත් කළාය. මේ අතර මධූගේ සැබෑ ෆේස්බුක් ගිණුමට අතිශය සමාන තවත් ගිණුමක් ඇගේ නමින්ම සැකකරු සකසා තිබිණ. නිවැරදි ගිණුම වෙන්කර හඳුනාගැනීමද අසීරු විය.

‘‘මගේ යාළුවන් පවා එහිදී අපහසුතාවට පත්වුණා. ගිණුම් දෙකම රිපෝට් වුණා. පසුව පරිගණක අපරාධ විමර්ශන ඒකකය ෆේස්බුක් ආයතනයත් සම්බන්ධ කරගෙන එම ගිණුමේ අනන්‍යතාව හඳුනාගත්තා. පසුව උසාවි නියෝගයක් ලබාගෙන අදාළ දුරකතන සමාගමෙන් ඒ ගිණුමේ හිමිකරු හෙළිකර ගත්තා. අනතුරුව අදාළ සාක්ෂි එකතුකර ගත්තට පස්සෙ සැකකරුව පරිගණක අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත්තා. ඊටපස්සෙ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහුට ඇප හිමිවුණා. ඊටත් මාස හයකට පසු නඩුව විභාග කෙරුණා. අපි ඔහුට එරෙහිව ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගත්තා. දණ්ඩ නීති සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ආදී සියල්ල යටතේ ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා.’’

අසභ්‍ය ප්‍රකාශනයක් බෙදාහැරීම සඳහා සන්තකයේ තබාගැනීම, අසභ්‍ය ප්‍රකාශනයක් බවට ඡායාරූප සංස්කරණය සහ නිෂ්පාදනය, අසභ්‍ය ප්‍රකාශනයක් මහජන ප්‍රදර්ශනයට යොමු කිරීම සහ බෙදා හැරීම, ස්ත්‍රියකගේ හිරි ඔතප් බිඳීමේ අදහසින් ලිංගික අඩන්තේට්ටම් කිරීම (මානසිකව) ආදී කරුණුවලට චූදිතයා වරදකරු විය. ඒ අනුව පසුගිය සතියේ ලැබුණු නඩු තීන්දුව අනුව වරදකරුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක්ද, දඩයක්ද නියම කෙරිණ. වින්දිතයාට රුපියල් ලක්ෂ අටක වන්දියක් ගෙවීමටද නියම විය.

‘‘මීට අමතරව මේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය අපරාධ අංශයට ගෙන්වා අවවාද ලබා දුන්නා. එම අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඉෂාර ගයා ශ්‍රී ඇතුළු කණ්ඩායම තමයි මේක අල්ලගන්න උදව් කළේ. නැත්තං මම තාම මේකෙන් පීඩා විඳිනවා. මෙහි නෛතික තත්ත්වය ගැන සියලු උපදෙස් ලබාදුන් විනිසුරුවරියක සිටිනවා. ඒ වගේම නීතීඥ ඔෂාන් උබේරත්න සහ නීතිඥ නිමාලි රාමනායක තමයි මට නීති උපදෙස් දුන්නේ. ෆේස්බුක් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේම සහාය මට හිමිවුණා. චමීර ජීවන්ත, චාපා පෙරේරා, චමින්ද සිල්වා, ප්‍රදීප් ගුණරත්න, නදීශා චන්ද්‍රසේන වගේ පිරිසක් ඒ අතර ඉන්නවා. ඒ වගේම එවකට ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා වගේම ෆේස්බුක් ආයතනයේ නිලධාරී යසස් වැනි අයගෙනුත් මට විශාල සහායක් ලැබුණා. මේ හැමදෙනාගේම එකතුවෙන් තමා වසර ගණනක් පුරා මට වූ හිංසනයට සාධාරණයක් ඉටුකර ගන්න හැකි වුණේ.’’

සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් කවර මාධ්‍යයකින් හෝ කිසිවකු හිංසාවට පත්කරන්නේ වීරයෙකු නොවේ. දුර්වලයෙකි. එනිසා හිංසාවට ලක්වූ කිසිවකු පසුබා යා යුතු නැත. ඔවුන් විශ්වාස කරන පිරිසක්ද සිටිති. එමෙන්ම එවැනි සිදුවීමක් තමාට හෝ සමීපතමයෙකුට වනතුරු නොසිට එවැන්නක් දුටුවිට ඊට එරෙහිව නැගී සිටීම අගනේය. අනෙක් අතට පාසල්වලින්ද ගවුමේ වාටිය, කොණ්ඩා කටුව හෝ පෙම් හසුන් හොයනවා වෙනුවට ආදරය සහ එකිනෙකට ගරු කිරීම හුරු කරන්නේනම් අමුතුවෙන් විනය රීති ඕනෑ නොවනු ඇත.

රෂ්නිකා ලියනගේ