විශේෂාංග

මේ ගාමන්ට් එකට කෙනෙක් බඳවගන්නේ සම්පූර්ණයෙන්ම අන්ධයි නම් විතරයි

හෙලන් කෙලර් තමයි ඇමෙරිකාවේ කලා උපාධියක් අරගත් පළවැනි අන්ධ කාන්තාව. පසුකලෙක හෙලන් සමස්ත ලෝකවාසී කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු සමාජ සේවිකාවක්, දේශපාලන ක්‍රියාකාරිනියක් වගේම ප්‍රකට ලේඛිකාවක් බවටත් පත්වුණා. ඒ වගේම අන්ධ අය ගැන කතාකරද්දී ප්‍රංශ ජාතික ලුවිස් බ්රේල් ගැනත් නොකියා බෑ. ඔහු කුඩා කාලයේදි හදිසි අනතුරකින් දෑස අන්ධ වුණු කෙනෙක්. නමුත් ලුවිස් ඔහු වැනි අන්ධ පුද්ගලයින්ට කියවීමට ලිවීමට එක්තරා ක්‍රමවේදයක් හොයාගත්තා. ඒ තමයි බ්රේල් ක්‍රමය. අදටත් දෘෂ්‍යාබාධිත මිනිස්සු ලියන්නේ කියවන්නේ ඔහු හොයාගත් ඒ බ්රේල් ක්‍රමයට පිංසිද්ධවෙන්න.

අන්ධ වුණත් ඇස් පෙනෙන මිනිස්සුන්ටත් ලේසියකට කරන්න බැරිවුණු හපන්කම් කරපු මිනිස්සුන්ගෙන් අපි මේ කතාව පටන්ගත්තේ එක හේතුවක් උඩ. ඒ මේ කතාවෙන් අපි කියන්නෙත් දෑස් නොපෙනෙන මිනිස්සුන්ගේ ලොකු හපන්කමක් ගැන හින්දා. මේ කතාව අපිට ආරංචි වුණේ අනුරාධපුර, කහටගස්දිගිලිය පැත්තෙන්. අනුරාධපුර කියපු ගමන් පරණ වෙහෙර විහාර මතක් වුණාට මේ කියන්න යන්නේ නම් පුංචි ගාමන්ට් එකක් ගැන. ගාමන්ට් එකේ නම තමයි ‘නේත්‍රාංජලී ඇපරල්’. මෙතැන වැඩ කරන්නේ දෘෂ්‍යාබාධිත තරුණ තරුණියන් විතරයි. ඔවුන් ගැන තමයි මේ කතාව.

මං තමයි නේත්‍රාංජලී ඇපරල් ගාමන්ට් එක කරන්නේ. මේ ගාමන්ට් එකට කෙනෙක් බඳවගන්නේ එයා සම්පූර්ණයෙන්ම අන්ධයි නම් විතරයි. ඒක තමයි අපි බලන එකම සුදුසුකම වෙන්නේ. මේ වෙනකොට ඒ වගේ තරුණ තරුණියෝ හත්දෙනෙක් මෙතැන වැඩ කරනවා. ඒ එක්කම තව විසිඅටදෙනෙක් මෙතැන වැඩට එන්න අහලා මට කතා කරලා තියෙනවා.”

ඒ විදියට අපිත් එක්ක කතාබහට මුලපිරුවේ ඩිලේකා මනෝරි වික්‍රමනායක. 51 හැවිරිදි ඩිලේකා තමයි නේත්‍රාංජලී ඇපරල් ගාමන්ට් එකේ හිමිකාරිනිය. හැබැයි දැන් නම් ඇගේ වැඩිමල් දියණිය වෙන 24 හැවිරිදි මිෂෙල් කුලසේකරත් තවත් කාන්තාවකුත් ඇයගේ සහායට ඉන්න බවයි ඩිලේකා අපිට කිව්වේ.

මේ ගාමන්ට් එක පටන්ගත්තේ පහුගිය අවුරුද්දේ මාර්තු 31 වැනිදා. මේ මාර්තු 31 වැනිදට හරියටම අවුරුද්දයි. මුලදි නම් ගොඩක් අභියෝග ආවා. මොකද මේ කවුරුත් මෙතැනට එද්දි මහන්න දැනගෙන හිටියේ නෑ. ඉතින් එහෙම පිරිසකට මහන්න උගන්වනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඔන්න ඇස් පෙනුණා නම් ඇඟිල්ලෙන් ඇනලා හරි කියලා දෙන්න තිබුණා. ඒත් පොඩ්ඩක්වත් පේන්නේ නැති අයට මහන්න උගන්වන එක හරිම අමාරු වැඩක් වුණා.”

වැඩේ අමාරු වුණත් ඩිලේකාගේ ගෝලයෝ ටික ලස්සනට වැඩේ අල්ලගෙන කියලා අපිට හිතුණේ ඔවුන් මහන හැටි දැකලා. දන්නවද ඔවුන් මහන්නේ හයිස්පීඩ් ජුකී මැෂින්වලින්. ඒකෙන්ම පැහැදිලියිනේ දෑස් නොපෙනුණත් ඔවුන්ගේ මැහිල්ලේ තරම කොහොමද කියලා. ඉතින් ඒ මැහිල්ල දිහා බලාගෙනම අපි ඩිලේකාගෙන් ඇහුවේ දෘෂ්‍යාබාධිත තරුණ තරුණියන් වෙනුවෙන් මෙහෙම ගාමන්ට් එකක් පටන්ගන්න හේතුව.

ඒක ටිකක් දිග කතාවක්. මං ඉස්කෝලේ ගිහින් ඉවරවුණු ගමන් මහන්න පුරුදුවුණා. මගේ වෙඩින් එකට ඇඳපු මංගල ගවුම මහගත්තෙත් මමයි. ඉතින් මහන්න පුරුදුවෙලා මංගල ඇඳුම් ව්‍යාපාරයක් පටන්ගත්තා. ඔය අතරේ මගේ අම්මා නැතිවුණා. ඒත් එක්කම මං මානසිකව වැටුණා. මට අම්මා වෙනුවෙන් දෙයක් කරන්න ඕන වුණා. එහෙම හිතලා කර කර හිටපු රැකියාව නතරකරලා පොඩි පඩියකට දෘෂ්‍යාබාධිත ළමයි ඉන්න තැනක වැඩට ගියා. එතැනදි මං ඒ ළමයින්ට මහන්න උගන්වන්න පටන්ගත්තා. එතැන කාලයක් ඉඳලා ඇවිත් තමයි මගේ ගෙදර මෙහෙම ගාමන්ට් එකක් පටන්ගත්තේ. මොකද කලින් තැනින් මං අයින් වෙනකොට එතැන හිටපු දරුවෝ ඉල්ලීමක් කළා. ඒ අනාගතයේ ඉපදෙන්න ඉන්න අන්ධ දරුවෝ ගැන හිතලා මේ වැඩේ දිගටම කරන්න කියලා.”

ඩිලේකා කියන විදියට ඇය තමයි ලංකාවේ පළමුවතාවට දෘෂ්‍යාබාධිත ළමයින් වෙනුවෙන් විධිමත් මැහුම් ක්‍රමයක් වගේම වර්ණ හඳුනාගැනීමේ ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. මොකද ඇය කියන විදියට මෙතරම් කාලයක් පුරාවට ඒ දේවල් වෙලා තියෙන්නේ අවිධිමත් ක්‍රමයකට. දිනක් ඇය උගන්වන අතරේ සිදුවූ සංවේදී සිදුවීමක් ගැනත් ඩිලේකා මේ විදියට අපිට කිව්වා.

දවසක් අපිට රෝස පාට රෙද්දක් ආවා. මං කිව්වා ළමයින්ට ළමයි රෝස පාට ලස්සන රෙද්දක් ඇවිත් තියෙනවා එන්න පෙන්නන්න කියලා. ළමයි දුවගෙන ආවා. දැන් කාටවත් රෝස පාට පේන්නේ නෑනේ. එතැන ගොඩක් අය ඉන්නේ උපතින් පෙනිලා පස්සේ පෙනීම නැතිවුණු අය. මං කිව්වා ඔයාලා පොඩි කාලේ කාපු සීනිබෝල මතක් කරගන්නකෝ. ඒ පාට තමයි මේ රෙද්දත් කියලා. ඒ වෙලාවේ එක ගෑනු ළමයෙක් දුකෙන් වගේ ගිහින් එයාගේ මැෂින් එක ගාව වාඩිවුණා. වෙනදට එයා එහෙම නෑ. පස්සේ මං ඒ ළමයා ගාවට ගිහින් ඔලුව අතගාන ගමන් ඇයි පුතේ ඇහුවා. පස්සේ එයා කිව්වා මිස් මං සීනිබෝල දැකලත් නෑ කියලා. ඒක මතක් වෙනකොට අදටත් මගේ ඇස් දෙක තෙත්වෙනවා.”

කිව්වත් වගේ ඩිලේකා අදටත් ඒ සිදුවීම මතක් කරන්නේ සෑහෙන්න සංවේදී වෙලා. ඉතින් නොදැනුවත්වම සංවේදී ඉසව්වකට ගලාගෙන ගිය කතාබහ වෙනස් කිරීමේ අරමුණු ඇතුව අපි ඇයට මෙහෙම ප්‍රශ්නයක් යොමුකළා. ඒ නේත්‍රාංජලී වැඩබිමට දෘෂ්‍යාබාධිත ළමයින්ම ගන්න හේතුව.

අන්ධ අයට කොහෙවත් ජොබ් දෙන්නේ නෑ. හැමෝම හිතන්නේ අන්ධ අයට මුකුත් බෑ කියලා. මං කරන වැඩෙන් මට සමාජයට කියන්න ඕනවුණේ අන්ධ බව කියන්නේ ඒ අයගේ ඇති නොහැකියාව නෙවෙයි කියලයි. මේ වෙනකොට අපේ ගාමන්ට් එකේ පොඩි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියා දක්වාම හැම ඇඳුමක්ම මහනවා. ඕනෑම විලාසිතාවක් මේ අයට පුළුවන්. ඊට අමතරව බෑග් වගේ විසිතුරු භාණ්ඩත් මහනවා. ඒ හැමදේකම ප්‍රමිතිය 100 %යි. ඔන්ලයින් හරහා තමයි ව්‍යාපාරය සිදුකරන්නේ. අපේ නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් මේ වෙනකොට තියෙනවා.”

ඔය අතරවාරයේ ඩිලේකා කරන හරි ආදර්ශවත් වැඩක් ගැනත් අපිට දැනගන්න ලැබුණා.

මේ වෙනකොට ප්ලාස්ටික්වලින් සොබාදහමට ලොකු තර්ජනයක් එල්ලවෙලා තියෙනවා. ඉතින් අපි ඇඳුම්වලට ලීවලින් හදපු බොත්තම් දාන්නේ. ඒත් එක්කම මිනිස්සු කැලෑ කපන්න පුරුදුවෙලා තියෙනවා. ඒක නිසා අපි බෑග් මහද්දි ඒකට මී ඇටයක් හෝ ඉගිනි ඇටයක් දාලා මහන්නේ. එතකොට කවදා හරි බෑග් එක පාවිච්චියෙන් බැහැර කරාට පස්සේ බෑග් එක මහපු රෙද්ද විනාශ වෙලා අර ඇටේ පැළවෙනවනේ.”  

නේත්‍රාංජලී ඇපරල් ගාමන්ට් එකේ වැඩකරන තරුණ තරුණියන්ට ඩිලේකා හොඳ මාසික වැටුපකුත් ගෙවනවලු. ඒ විතරක් නෙවෙයි දවල්ට කෑමබීම ටිකත් දෙනවලු. සතිඅග නිවාඩුත් දෙනවලු. මේ අතරේ දැන් ඇගේ ආසාව ඇගේ ඉඩමක නේවාසිකාගාරයක් හදලා තව තවත් දෘෂ්‍යාබාධිත තරුණ තරුණියන්ට ඩිලේකා ගාව රැකියා දෙන්නලු. ඒත් ඒ වෙනුවෙන් නම් කාගේ හරි උදව්වක් උවමනා වෙනවා කියලයි ඇය ‘ධරණී’ට කිව්වේ.

නේවාසිකාගාරයක් හදන එක ලොකු වැඩක්. ඒක මට තනියම කරන්න බෑ. ගාමන්ට් එක කරන්න නම් පස්සරමුල්ලේ දයාවංශ හිමි වගේ අනුර වික්‍රමනායක, මුරලිදරන්, රාජේන්ද්‍රන් කියන මහත්වරු උදව් කළා. කොළඹ 306 B2 සිංහ සමාජයෙනුත් ගොඩාක් උදව් ලැබුණා. ඒ වගේම සැමියාත් මතක් නොකර බෑ.”

දරු දෙදෙනෙකුගේ මවක් වෙන ඩිලේකා මේ වෙනකොට තමන්ගේ ජීවිතේම කැපකරලා තියෙන්නේ දෘෂ්‍යාබාධිත තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන්. ගම මාතර වුණත් විවාහයෙන් පස්සේ මේ වෙනකොට ඇය පදිංචි සැමියගේ ගම වෙන අනුරාධපුරේ කහටගස්දිගිලියේ.

පුංචි කාලේ ඉඳන් මං හීන දැක්කේ ගත්කතුවරියක් වෙන්න. ඒත් මහන්න පටන්ගත්තට පස්සේ ඒ හීනය ටිකක් දුරස් වුණා. ඒත් ළඟදිම මගේ කවි සිත කියලා කවිපොතක් එළිදක්වනවා. හැබැයි මොන දේ කළත් මොන අභියෝග ආවත් දෘෂ්‍යාබාධිත තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භ කරපු නේත්‍රාංජලී ඇපරල් ගාමන්ට් එක නම් නතර කරන්නේ නෑ.”

ඩිලේකා එහෙම කිව්වේ තමන් යටතේ වැඩකරන දෘෂ්‍යාබාධිත තරුණ තරුණියන් දිහා බලාගෙන. ‘ධරණී’ අපි හිතන විදියට ඩිලේකා කියන්නේ රටේ අගයන්න ඕනේ කාන්තාවක්. මොකද ඇය මේ දෑස් නොපෙනෙන මිනිසුන්ට දෑස් පෙනෙන මිනිසුන් සේ ජීවත්වෙන්න උවමනා කරන මග සකසන්නේ ඔවුන් සියල්ලෝම ඇයගේ කුසින් වැදුවා හා සමානව සලකමින්. ඩිලේකා ළඟ තියෙන අන්න ඒ ගුණය නිසාම ජීවිතයේ වැඩි කාලයක් මුළුල්ලේ අන්ධකාරයට හුරුවෙලා හිටපු තරුණ තරුණියෝ දැන් හරි අපූරුවට ආලෝකය දකිනවා. ඉතින් දෑස නොපෙනුණත් ඒ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට ඇත්තටම දැන් වැඩිය පාඩු නෑ.

රුවන් එස්.සෙනවිරත්න