විශේෂාංග

කල්ල මරේ මෙන්න අලියෙක් කරේ

මව් සෙනෙහසට සීමා නැත. ඒ අසීමිත සෙනෙහසටද වරදින අවස්ථා තිබේ. එවැන්නක් පසුගියදා මාදුරුඔය – සෝමාවතිය – ත්‍රිකෝණමඩු ස්වභාවික රක්ෂිත අලිමංකඩින් වාර්තා විය. ඒ ප්‍රදේශ ආශ්‍රිතව හරකුන් තණ කැවීමට රැගෙන යන පිරිසකට ඇසුණේ අසාමාන්‍ය අලි විලාපයකි. අලි පැටවකු වැටී සිටිනවාද ඈතින් පෙනිණ. එහෙත් ඒ වෙත ළඟාවීම අනුචිතය. ඒ අනුව පිරිස පොලිසියට මේ ගැන දැනුම් දී තිබේ. වනජීවී නිලධාරීන්ට පණිවිඩය ලැබුණේ ඒ අනුවය.

වහා ක්‍රියාත්මක වූ වැලිකන්ද වන සත්ව අඩවි සහකාර කුරගමගේ දොන් ජනක සිය සගයන්ද සමඟ අදාළ ස්ථානයට පිටත් විය. වන සත්ව නියාමක මනුක, ක්ෂේත්‍ර සහයක වසන්ත, ක්ෂේත්‍ර සහයක රුවන්, සිවිල් ආරක්ෂක භට රණවීර සහ රියදුරු කුමාර ඒ අතර වූහ.

අලි මංකඩ පසුකරන අලින්ගේ අඳෝනාව සහේතුකය. මසකට අඩු වයසැති අලි පැටවකු බිම වැටී සිටී. හේ මියගොස් ඇතැයි සිතා මව් හැර ගොසිනි. මියගියා යැයි සිතෙන තරමටම පැටවා දුර්වලය. එතැන පසුකරන අලි නඩ මේ පැංචා වෙනුවෙන් මහ හඬින් සොව පළ කරන්නට ඇත. නොනැගිටින, දුර්වල අසරණයා උදෙසා වෙන කුමක් කරන්නද?

අලි පැටවා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව අඩවි සහකාර ජනක තේරුම් ගත්තේය. එහෙත් හද ගැස්ම දැකිය හැකිය. ඉතින් කෙසේ අතැර යන්නද? වනජීවී කණ්ඩායමේ සියල්ලන්ගේ ඒකායන අපේක්ෂාව වූයේ පැටවාගේ දිවි ගලවා ගැනීමයි. එහෙත් ඊට බාධක රැසකි. පැටවා සිටින තැනට වාහනය රැගෙන යාමට නොහැකිය. මග දුෂ්කරය. විකල්පයක් ඇත්තේම නැත. ඒ අහිංසක දෑස් මගහැර යා නොහැකි නිසාදෝ ජනක ඇතුළු පිරිවර අසීරු තීරණයකට එළැඹුණහ. වාහනය නවතා ඇත්තේ කිලෝමීටර තුනක් පමණ එපිටිනි. සියලුදෙනා එක්ව පැංචා ඔසවා අඩවි සහකාර ජනකගේ කර මතින් තැබූහ. පැටවකු වුවද බර කිලෝග්‍රෑම් තිහකට වැඩිය. එහෙත් හිතේ හයිය නිසාම ඒ බර නොදැනෙන්නට ඇත. වළ ගොඩැලි සහිත අසීරු මග දිගේ අලි පැංචා අඩවි සහකාර ජනකගේ කර මතින් ආවේය. පසුව රථයට නංවා ගැනුණු පැටවා වහාම ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කෙරිණ. කරකියා ගැනීමට දෙයක් නොමැතිව අම්මා අතැර දැම්මද, නැගිටවා ගත නොහැකිව අලි රංචු පිටින් හැඬුවද මිනිස් කරක් මතින් පැංචාට රැකවරණය සැලසිණ. ආදරය බෙදිය යුතු තම වර්ගයාට පමණක් නොවේ. මේ ලොව වෙසෙන සැමට ඍජුව හෝ වක්‍රව එකිනෙකාගේ උදව් අවැසිය. ඒ සොබාදහම් රීතියයි. මක්නිසාද යත් මේ බිමට මිනිසාට ඇති අයිතියට දෙවෙනි නොවන හිමිකමක් අනෙක් සියලු සොබා සම්පත් සතු බැවිනි.

රෂ්නිකා ලියනගේ