විශේෂාංග

පෙම් හබයක පැටලුනු මහසෙන්ට හොඳටම තුවාලයි

‘සෝමාවතිය ඇතා’  යනුවෙන්ද බොහෝදෙනා හඳුන්වන මහසෙන් මිනිසුන්ගේ ආදරය, අවධානය දිනාගත් සුන්දර හස්තියෙකි. නමුත් වසර දෙක තුනක කාලයක් තිස්සේ කිසිවෙකුගේ ඇස නොගැටීම නිසා මහසෙන් අතුරුදන්ව ඇති බවට ද කටකතා පැතිරී තිබුණි. ඒ සියලු කයි කතාන්දර වලට පිළිතුරු දෙමින් පහුගියදා නැවතත් හෙතෙම පෙනී සිටියේය. ඒ නිකන්ම නොවේ. හොඳ අඩව්වක් ද අල්ලමිනි.

 

අලි පෙම් පලහිලව්වක් වෙනුවෙන් තවත් ඇතෙකු සමග මහසෙන් ඇල්ලූ මේ අඩව්වෙන් හෙතෙම පැරදී ඇත. එනිසා ඉහින් කනින් තුවාල ලබා සිටියදී ඔහුව සොයාගැනුනේ රිටිගල, මාන්නංකට්ටිය වැවට යාබද මිරිස්වත්ත ග්‍රාමයේ දීය.

සෝමාවතිය අවට රක්ෂිතය සිය වාසභූමිය කරගෙන සිටියත් එක දේශ සීමාවක රැඳෙන්නට බැරි ගාය නිසා  මහසෙන් කලින් කලට විවිධ ප්‍රදේශවලට පැමිණෙයි. මින්නේරිය, කවුඩුල්ල වැව් පිටි සිඳී යන කාලයට එහි පැවැත්වෙන මහා අලි රැස්වීමට ද මහසෙන් එක්වෙයි. එම දැවැන්ත අලි රැස්වීම  විදේශිකයින් අතරනම් ඉතා ප්‍රසිද්ධ ය. එහෙත් මේ වනවිට මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා මින්නේරිය සහ කවුඩුල්ල ජලාශ පුරවා ඇති බැවින් අලි සභාව විසුරුවා හැරීමට සිදුව ඇත. හයසියයක් පමණ අලි ඇතුන් ඉබාගාතේ යාමට පටන්ගෙන ඇත්තේ ද ඒ හේතුවෙන්  විය හැකිය.

සාමාන්‍යයෙන් අලි රංචුවක වගකීම දරන්නේ, වයසින් වැඩි පරිණත ගැහැණු සතෙකි. ශක්තිමත් පිරිමි සතුන් අලි රංචුව සමීපයේ ගැවසුනත් ඒ ඇත්තන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ රංචුවේ ගැහැණු සතුන්ට  බැල්ම හෙලන පිටස්තර අලින් පලවා හැරීමයි. ඒ ගැටුමේදී වඩාත් ශක්තිමත් සහ උපක්‍රමශීලී අලියාට ජයග්‍රහණයත් මනමාල පදවියත් යන දෙකම නිතැතින් හිමිවේ.

අවශ්‍යතාවය මතු වූ විට සුදුසු සහකාරියක සොයා යාම අලියාගේ ස්වභාවයයි.  මහසෙන් ද රිටිගලට පැමිණ ඇත්තේ ඒ රාජකාරිය ඉටු කරගැනීමටයි. මාන්නංකට්ටිය වැවට මේ ආකාරයට මහකනදරාවේ  සිට 250 ක 300 ක පමණ අලි නඩයක් පැමිණේ. ඒ අතර නාහෙට නාහන නහරකාරයෝ කිහිප දෙනෙක්ද සිටිති.  අග්බෝ,  දර්ශන,  දප්පුල,  ආනන්ද සහ නන්ද ඒ ජාතියේ ඇතුන්ය.  ඔවුන්ගේ දළ පිහිටා ඇත්තේද  තවත් සතෙකුට පහර දීමට පහසු ලෙසිනි. නමුත් මහසෙන් ඒ අතින් අසරණ ය. ඒ පූට්ටු වී ඇති දළ යුගලයෙන් ප්‍රතිවාදියකු මෙල්ල කිරීමට ප්‍රමාණවත් සහයක් මහසෙන්ට නොලැබෙන නිසා ය.

කලා වැවෙන් හබරණට සංක්‍රමණය වන අලි ඇත්තු ද මේ ප්‍රදේශයේම ජීවත් වෙති. අනෙක් කණ්ඩායම් එන්නේ  රිටිගල සහ තිරප්පනේ සිට ය.

මේ කවර කණ්ඩායමක හෝ සාමාජිකයකු සමග පෙම් හුටපටයක් වෙනුවෙන් මහසෙන් කලහ කරගෙන තිබේ. තුවාල දෙස බලන විට පැහැදිලි වන්නේ පහරදීම කර ඇත්තේ ඇතෙකු බවයි.  අලංකාර දිගු පූට්ටු දළ යුගලයේ සහය නොලද මහසෙන්ට මිරිස්වත්තෙන් පිටවී යාමට නොහැකි  තරමේ හානි සිදුකළ සටන්කාමියා සහකාරියද සමග ජයග්‍රාහී ලීලාවෙන් පිටව යන්නට ඇත. ඉන්පසු හිතත් ගතත් දෙකම තුවාල වූ මහසෙන්ට පිහිට වූයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රමුඛ කණ්‌ඩායම සහ ගනේවැල්පල වනජීවී නිලධාරීන් ය.

නමුත් ඔහුට ප්‍රතිකාර කිරීමද ලේසි නැත. එකක් රෝගියා සිටින්නේ වනගතවය.  අනෙක් පැත්තෙන් කොතරම් අසනීප වුවද එකතැන රැඳීමක් නැත. එනිසා නිරතුරු ඔහු ගැන ඇස ගසා සිටිය යුතුය.  අද ප්‍රතිකාර කළ පසු ඊළඟ ප්‍රතිකාරය කිරීමට කිලෝමීටර ගණනක් යාමට සිදුවිය හැකිය. එයද වනයේ රිංගා යාමෙනි.  අනෙකුත් වන සතුන් මෙන්ම වෙනත් උවදුරුවලින්ද බේරීමට පශු වෛද්‍ය කණ්ඩායමට සිදුවේ.  ඒ සියල්ල කළත් අතිවිශාල රෝගියාගේ හැසිරීම ද විශ්වාස කළ නොහැකිය. දැවැන්තයා නිර්වින්දනය කිරීම වුවද පහසු නැත.  ප්‍රතිජීවක ලබාදීම සහ තුවාල මත ඖෂධ ආලේප කළ යුත්තේ ඉන් පසුවය. ඒ බාධක කෙසේ වෙතත් මහසෙන් සුව වන තුරු  නියමිත ප්‍රතිකාර ලබාදෙන බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ පවසයි.  දරුණු තුවාල කිහිපයක් තිබුනද මේ වනවිට ඒවා සුව අතට හැරෙමින් පවතින බවයි ඔහු ධරණී ට  කීවේ. හානිකර මට්ටමේ නොවූව ද කලින් සිදුවූ වෙඩි ප්‍රහාර කිහිපයක කැළැල් ද  මහසෙන්ගේ සිරුරේ ඇත. කෙසේ වෙතත් මේ දක්වා තුවාල සිදුවූ ප්‍රදේශයේම රැඳී සිටින මහසෙන් සම්පූර්ණ සුවය ලැබූ පසු පුරුදු සංචාරය අරඹනු ඇත. එතෙක් වනජීවි නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ සිටින මහසෙන්ට අවශ්‍ය ප්‍රතිකාර කලට වේලාවට ලබාදීමට පියවර යොදා තිබේ.

අලි සමගම නිතර මුහුවී ක්‍රියා කරන අලි හිතවතෙකු ප්‍රකාශ කළේ මහසෙන් මෙතෙක් කිසිදු මනුෂ්‍යයෙකුට කරදර කර නොමැති බවයි.  පෙරමගට ඇදෙන විට ද ඇස් ඉවතට නොගෙන නැරඹීමට හැකි අඩි දහයක පමණ උසකින් යුතු හස්තියාට බොහෝ දෙනෙකු සලකන්නේ මින්නේරිය දෙවියන්ට මෙනි.  එනිසා මහසෙන් ගැන දන්නා කිසිවකුත් ඔහුට කරදර නොකරන බව ද හෙතෙම පැවසීය.

මහසෙන් ස්වභාවයෙන්ම ඉතා තැන්පත් ඇතෙකු බව වනජීවි ආරක්ෂක අනිල් විතානගේ කියයි. ඊට උදාහරණ ලෙස ඔහුගේ මතකයේ ඇත්තේ අපූරු සිදුවීමකි.

කවුඩුල්ල වැව් පිටියට අලි ඇතුන් තුන්සියයක් පමණ රැස්ව සිටි මොහොතක රාජකාරි කටයුත්තක් වෙනුවෙන් හෙතෙම ඒ ප්‍රදේශයට පැමිණ සිටියේ ය. අසල ඇල මාර්ගයකට මෙපිටින් ඔහුගේ රථය නවතා තිබිණි.  අලි රංචුව සිටියේ ඇල මාර්ගයට එපිටිනි. ආවේගශීලී වසභ ඇතා ද එතැනය. වසභ ගේ දළ දෙපසට විහිදී ඇත. එනිසා පහරදීමට ඉතා පහසුය. අනෙක් අලි ඇතුන් එලවමින් එතැන වීරයාගේ චරිතය රඟ දක්වමින් සිටියේ වසභයි. පෙම්වතියක සොයා ගැනීමට අනෙකුත් පිරිමි සතුන්ට ඉඩක් ඇත්තේම නැත.  කවුරුන් හෝ ඊට උත්සාහ දරයි නම් වසභගේ දළ පහරට ලක්වීමට සිදුවේ. හා හා පුරාකියා මහසෙන් ද කවුඩුල්ලට පැමිණියේ එදිනය. මහසෙන් ඇලෙන් මෙපිටය. ඇල තරණය කර වැව් පිටියට යාම මනා පෞරුෂයක් හිමි හස්තියාට සුලු දෙයකි. එහෙත් මහසෙන් ඇලට මෙපිටින් රැඳී වැව් පිටියේ සිටින අලි රංචුව මැනැවින් නිරීක්ෂණය කළේය. කැපී පෙනෙන්නේ වසභගේ කලහකාරී හැසිරීමයි.  එය නොමනා එකක් බව මහසෙන්ට හැඟෙන්නට ඇත. විනාඩි විස්සක් තිහක් පමණ ගතවිය. මහසෙන් ඇල තරණය කරන පාටක් නැත. විහින් කරදරේ වැටෙන්නේ කුමටදැයි ඇතාට සිතුණා විය හැකිය. දළ යුගලයේ තරම ද හොඳ හැටි දන්නා බැවින් කරදරයකට අත වැනීම අනුචිත නොවන බව ඉවසිලිවන්තයාට වැටහෙන්නට ඇත. එනිසා ඇල තරණය කරනවා වෙනුවට ආපසු හැරුණු මහසෙන් සන්සුන්ව කැලය දෙසට ගමන් ගත්තේය.

තම දුර්වලතා වටහාගෙන එලෙස අවදානම් මඟහැර යන මහසෙන්ට මෙවර වරදින්නට ඇත. නොඑසේනම් ප්‍රේමයට වඩා ජීවිතය වටිනවා යැයි සිතුවා විය හැකිය. ඒ කවරක හෝ අවසන් ඵලය වූයේ පරාජිත සටනකි.  එහෙත් මහසෙන් හෙට නැවතත් ගමන අරඹනු ඇත. සෝමාවතිය,  කන්තලේ, ත්‍රිකුණාමලය, සේරුවාවිල,  මැදිරිගිරිය,  කවුඩුල්ල, මින්නේරිය සහ රිටිගල ආදී ප්‍රදේශවල විසල් සංචරණ පරාසයක මහසෙන් ගමන් ගැනීම සත්ව විද්‍යාත්මකව වාසිදායකය. ශක්තිමත්,  සුන්දර අලි පරපුරක් බිහිවීමට ඒ ජාන එකතුවෙන් විශාල මෙහෙයක් සිදුවේ.  එනිසා සෝමාවතිය වැඳ පුදා ගැනීමට ගිය මොහොතක සෝමාවතිය ඇතා දුටුවේ නැතැයි කම්පා වීමට අවැසි නැත. මන්ද, මහසෙන් යනු දීර්ඝ සංචාරකයෙකු බැවිනි.

රෂ්නිකා ලියනගේ