විශේෂාංග

ආදරයේ උල්පත ගින්නකින් දැවී යයි -සංවේදී සත්‍ය කතාවක්

ඒ, 2019 සැප්තැම්බරයේ තවත් උදෑසනකි. තිස්එක් හැවිරිදි එමා සිටියේ සිය දරුවන් හයදෙනා සමඟයි. සැමියා උදයේම නිවසින් පිටව ගොසිනි. වයස අවුරුදු තුනක් සහ හතරක් වූ පුතුන් අවදිව පහත මාලයට පැමිණියා පමණි ටික වේලාවකින් සිව් හැවිරිදි දරුවා භීතියට පත්ව කෑ ගැසුවේය.

‘‘ගිනි ගන්නවා.’’

එය ඇසෙනවාත් සමඟ පහතට පැමිණි එමාට කිසිවක් සිතාගැනීමට කාලයක් නොවීය. තිරරෙදි සහ සෝෆාව ගින්නෙන් දැවෙමින් තිබේ. විසිත්ත කාමරය මුලුමනින්ම ගිනි ජාලාවකි. ඇය වහාම ඉදිරි දොර හැරියේ දරු දෙදෙනාට පිටවීමටයි. එහෙත් අනපේක්ෂිත සිදුවීමකි වු‍ණේ. දොර හරිනවාත් සමඟ ගේ ඇතුළට පැමිණි වායු ධාරා ගින්නට සහාය දුන්නේය. එවිට හටගත් පිපිරීමට මුහුණ දීමට දරු දෙදෙනා සිය දෑත් අතර රඳවා ගන්නවා හැර වෙනත් විකල්පයක් එමාට නොවීය. ඒ වනවිටද ඇගේ සිරුරේ පිටුපස ගිනි ගනිමින් තිබිණි. දරු දෙදෙනා පිටතට තල්ලු කර දැමූ එමා දොර අගුළු ලෑවාය. ඒ, සිය නොදරුවන් නැවත ගින්නට ඇතුළුවීම වළකාලීමටයි.

නැවත ගින්න අතරට පැමිණි එමාට අවශ්‍ය වූයේ අනෙක් දරුවන් සිව්දෙනා මේ මහා විපතින් ගලවා ගැනීමටයි. ඈ මහ හඬින් ඔවුන් ඇමතුවාය. බැල්කනියට පිවිසෙන ලෙස එමා ඔවුන්ට දැනුම් දුන්නාය. ඒ වනවිටද ගින්න වේගයෙන් පැතිර යමිනි. තරප්පු පෙළ ගිනි දැල්වලින් වැසී ඇත. දැවෙන තරප්පු මතින් ඉහත මාලයට පිවිසීමට තරම් ධෛර්යයක් එමාට ඇතිවූයේ අපිරිමිත දරු සෙනෙහස නිසාමය. ගින්නට හසුවූ ඇගේ පතුල් හම ගොසිනි. පඩියෙන් පඩියට අඩිය තබන විට සම ගැලවී යයි. එහෙත් දරුවන් වෙත ළඟාවන තුරු ඇය නොවෙයි සටන අතහැරියේ.

ගිනි ජාලාවක් මැදින් ඉහත මාලයට පිවිසීමට අවසානයේ එමාට හැකියාව ලැබිණ. ඒ වනවිටද නව හැවිරිදි දියණිය බැල්කනියෙන් බිමට බැස අසල්වාසීන්ගේ උදව් ලබා ගැනීමට ගොසිනි. මවට සහ සොයුරු සොයුරියන්ට නිවසින් ඉවත් වීමට ඉනිමගක් සොයා ගැනීමට එකොළොස් හැවිරිදි වැඩිමහල් පුතු සමත්ව සිටියේය. බැල්කනිය වෙත යමින් සිටියදී සත් වියැති පුතුද එමාට හමුවිය. ඈ ඔහුද රැගෙන බැල්කනියට පිවිසියාය. ඒ වෙද්දී එමාගේ සිරුරම ගින්නෙන් දැවී තිබිණ. සෑම තැනකින්ම ලේ ගලයි. හිසකේ අඟුරු වී ඇත. ඒ ස්වරූපයෙන් සිය මෑණියන් දුටු වැඩිමහල් පුත්‍රයා කම්පාවට පත්විය. තමා නිසැකවම මියයනු ඇතැයි ඒ මොහොතේදී එමාට සිතිණ.

දරාගැනීමට නොහැකි වේදනාවෙන් සිරුර රිදුම් දෙද්දී එමාට සිය බාල දියණිය සිහිපත් විය. වසරක් වයසැති ඈ තවමත් සයනයේය. ඈ දමා කෙලෙස ගැලවෙන්නද? සියලු වේදනා පරයමින් ඇගේ සිතට අමුතු ශක්තියක් දැනිණ. නැවත ගින්නට නොයන ලෙස ලොකු පුතා හඬමින් ආයාචනය කළේය. එහෙත් ඇගේ සිතේ වූයේ කෙලෙස හෝ සිය බාල දියණිය බේරාගන්නවා යන අධිෂ්ඨානය පමණි. දෙවරක් නොසිතා එමා නැවතත් ගින්න අතරට පැන්නාය. දියණිය නිදා සිටි කාමරය දුමාරයෙන් වැසී ගොසිනි. එමාට කිසිවක් නොපෙනේ. ආශ්වාස ප්‍රශ්වාසයද අසීරුය. එහෙත් දියණියගේ හැඬීම නිසා ඈ සොයා ගැනීමට එමා සමත් වූවාය. ඈ ගලවා ගැනීම වෙනුවෙන් පමණක් සිරුරේ ඉතිරි වූ ශක්තිය සමඟ එමා බිළිඳිය සිය දෝතට ගත්තාය.

‘‘එදා මට කවරදාකටත් වඩා මගේ සිඟිත්තියව බරට දැනුණා. ඇය ඔතා ගැනීමට ඇතිරිල්ලක්වත් තිබුණේ නෑ. අම්මා කෙනෙකු විදියට, ඈ බේරාගන්නැයි කෑ ගසන මගේ හිතයි ගතයි විතරයි මට තිබුණේ.’’

දියණිය තුරුලට ගත් එමා කාමරයෙන් පිටතට පැමිණියාය. වැඩිමහල් පුත්‍රයාට නැගණිය බාරදීමෙන් පසු ඈ නිදහස්ය. තවත් ශක්තිය ඉතිරිව නැත. එමා එසැණින් බිම ඇද වැටුණාය.

ඒ වනවිටද ගිලන් රථ සහ අනෙකුත් ආධාර කණ්ඩායම් නිවස කරා පැමිණ තිබිණ. බිම ඇද වැටීමෙන් පසු ඈ දුටුවේ තමා දෙස යොමු වූ වැඩිමහල් පුතුගේ කඳුළු පිරි දෙනෙත්ය. අවසන් මොහොතේදීත් ඔහු සනසාලීම ඇයට අවැසි විය.

‘‘අම්මා ඉක්මනට ආයෙ එනවා පුතේ.’’

ඇගේ ජීවිතය අල්ලා තබා ගැනීමට ඇයට ශක්තිය වන්නට ඇත්තේ පුතුට පැවසූ එම වදන් වන්නට ඇත.

එමා ස්කොල්ස් වහා රෝහල්ගත කෙරිණ. වෛද්‍ය නිගමනයට අනුව ඇගේ සම 93% ක් දරුණු ලෙස පිළිස්සී ඇත. ඇගේ හුස්ම රැඳී තිබුණේ යන්ත්‍ර මතය. සති තුනක කාලයක් එමා සිටියේ කෝමා තත්ත්වයෙනි. සති තුනකට පසු අවදිව දෑස් විවර කළ ඇය සතු වූයේ එකම පැනයකි.

‘‘මගේ දරුවන් සුවෙන්ද?’’

එතැන් සිට ඈ ගෙවා දැමූයේ ඉමහත් වේදනාකාරී අවදියකි. ප්‍රතිකාර ලැබීම දවස පුරා පීඩා ගෙන දුන්නේය. පළමු මාස තුන ඇතුළත පමණක් ඇය සැත්කම් හැටකට පමණ මුහුණ දුන්නාය. එමෙන්ම නියුමෝනියාව ආදී ශ්වසන රෝග වර්ධනය වීමද එමා පීඩාවට පත් කළේය. ජීවිතයත් මරණයත් අතර ඈ දෝලනය වෙමින් සිටි අවස්ථා එමටය. ඒ තරමට ඒ කාලය අසීරුය. ජීවිතය අතහැර දැමීමට ඈට සිත්වූ අවස්ථා බොහෝය.

එහෙත් ඒ සෑම අවස්ථාවකදීම දරුවන්ගේ ඡායාරූපය ඇයට යමක් තදින් ඒත්තු ගැන්වීය. ඒ, ඔවුන්ට ඈ අවශ්‍ය බවයි. රෝහල්ගත වීමට පෙර වැඩිමහල් පුත්‍රයාට ලබාදුන් පොරොන්දුව ඇයගේ සිරුරට ජීවය ගෙන දුන්නේය. ආදරණීයයකුට පොරොන්දුවක් වූයේනම් කෙතරම් අවහිරතා මධ්‍යයේ වුවද එය රැකිය යුතුමය. ඊට නිදහසට කරුණු අවැසි නොවේ. පුතුට වූ පොරොන්දුව රැකීමෙන් සහ සිය ආදරණීය දරු පැටවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමෙන් පලා යාමට ඇයට ඉඩක් නැත. එනිසා කෙලෙස හෝ රැඳී සිටිය යුතුමය. අධිෂ්ඨානය සහිතව හිතට දුන් ඔසුද සමඟ ඈ වේගයෙන් සුවපත් වූවාය. ඇගේ සුවවීමේ මට්ටම වෛද්‍යවරුන් මවිත කරවීමටද සමත් විය. එමා ස්කොල්ස් දිවි රැකගත්තා පමණක් නොවේ. ඉතා ඉක්මනින් ආධාරක රහිතව ඇවිදයාමටද සමර්ථ වූවාය. 2020 වසරේ මුලදී ඇයට නැවත සුපුරුදු පරිදි සිය පවුල හා එක්වීමට හැකිවිය. ඇගේ මුහුණ පිළිස්සීමෙන් විකෘති වී නොතිබියද සිරුර පුරා හම රැලි වී, සම්පූර්ණ වෙනසකට ලක්ව තිබිණ. එහෙත් ඒ සෑම කැළලකම මව් සෙනෙහස නොඅඩුව තැවරී තිබිණ.

ඒ සෙනෙහසට අසල්වාසීන්ගේ පමණක් නොව, ස්වීඩනය පුරාද ලොව පුරාද ආදරය ගෞරවය හිමිවිය. මව් සෙනෙහසට සීමා නැත.

ජාතිය, ආගම, භාෂාව, වර්ණය කුමක් වුවද අම්මා අම්මාමය. ලෝකයේ කොයි අස්සක මුල්ලක වුවද එය වෙනස් නොවේ.

රෂ්නිකා ලියනගේ