විශේෂාංග

මේ බෝනික්කි එපා! මං කසාද බැඳපු ගෑනිව මට ගෙනත් දෙන්න

බහුතරයක් අඹු-සැමියන් උපදේශන සේවාවක් පතන්නේ දික්කසාද වෙන්න තීරණය කරලා ඉවර වුණාටත් පස්සේ. හැබැයි මේ කියන සැමියගේ හිතේ දික්කසාදය ගැන අදහසක් තිබුණේ නැහැ.

‘‘මම ජීවත්වෙන්නේ මම විවාහ කරගත්තු බිරිඳ එක්ක නෙමේ. දැන් මගේ ගෙදර ඉන්නේ වෙන කෙනෙක්. මට ආයෙත් මගේ වයිෆ්ව ගෙනල්ලා දෙන්න මිස්ට පුළුවන්ද?’’

මේ සැමියා ඔහුගේ කතාව පටන්ගත්තේ එහෙම. ඔහු කියපු කතාවේ අගක් මුලක් කිසි දෙයක් නොතේරුණු නිසා මේ මොන හතරබීරි කතාවක්ද කියලා හිතුව මමත් ටිකක් උඩබිම බැලුවා. ඔහු මට කරුණු කාරණා තේරුම් කරන්න පටන්ගත්තේ ඊටපස්සේ.

මේ සැමියා රජයේ උසස් රැකියාවක් කරන පුද්ගලයෙක්. ඔහු තරමක් නිවුණු ගති ඇති පුද්ගලයෙක් කියන එක කතාබහ ආරම්භයේදීම මට තේරුණා.

ඔහු විවාහ කරගෙන තිබුණේ ඔහුගේ ගම් පළාතේ හිටපු ලස්සනම යුවතියව. විවාහ වෙනකොට ඇයට අවුරුදු විසි දෙකක් විතර ඇතිලු. විවාහයෙන් පස්සේ මේ යුවළ කොළඹ පදිංචියට ඇවිත්. ඉතින් ඔහොම අවුරුද්දක් දෙකක් ගෙවිලා යනකොට ඔවුන්ට දියණියක් ලැබිලා තියෙනවා. දැන් ඒ දියණියට අවුරුදු හතක් විතර ඇති.

මේ දියණියව ඒ පළාතේ තිබුණු හොඳම පෙර පාසලකට ඇතුළත් කරන්න බිරිඳට අවශ්‍ය වෙලා තියෙනවා. දරුවගේ අනාගතේටත් හොඳ නිසා සැමියාත් දෙවරක් නොහිතා ඒ අදහසට එකඟ වෙලා. දරුවා පෙර පාසල් යන්න පටන් අරන් ටික කාලයක් යද්දි ‘‘අපරාදේ අපි දරුවෙක් හදන්න ඉක්මන් වුණා නේද?’’ කියලා බිරිඳ නිතරම කියන්න පටන්ගත්තලු.

‘‘තාම ඔයාට වැඩි වසයක් නෑනේ. අඩු වයසින් ළමයි හදාගත්තම ජීවිතේ විඳින්න බැහැ’’ කියලා පෙර පාස​ලේ මවක් ඇයත් එක්ක කියලා තියෙනවා කියලා සැමියා දැනගෙන තියෙන්නේ මේ ගැන ටිකක් හාරඅවුස්සලා අහද්දී.

ඉතින් කොහොම හරි ඔහොම කාලේ ගතවෙනකොට මේ බිරිඳගේ ඇඳුම් පැලඳුම්වල වෙනසක් වෙලා මුලදි දිග ඇඳුම් ඇඳපු බිරිඳ පස්සේ ඉතාම කෙටි ගවුම්, කලිසම් අඳින්න පටන් අරන්.

‘‘ළමයෙක් හිටියට මට තාම අවුරුදු විසි නවයයි. ඔය බාච්චු ඇඳලා අම්මණ්ඩියෙක් වෙන්න මට නම් බැහැ.’’

කියලා තමයි ඇය සැමියා එක්ක කියලා තිබුණේ.

මුලදි සැමියා මේක ගැන ලොකුවට හිතන්න ගිහිල්ලත් නැහැ. ඒත් නොහිතා බැරි තරමට එන්න එන්නම ඇගේ ඇඳුම්වල ප්‍රමාණය කෙටි වුණාලු. කොටින්ම සැමියගේ යාළුවෙක් ගෙදරට ආවත් මෙයා ඉක්මනට කොට කලිසමක් ඇඳගෙන ඉස්සරහට එනවලු. දවසක් පාසලට නොගැළපෙන ඇඳුමක් ඇඳන් ගිහිල්ලා ඇයව පාසල ඇතුළට අරගෙන තිබුණෙත් නැහැ.

අලි මදිවට හරක් කියලා ඔන්න මෙයා ටික දවසකින් තවත් නෙයියාඩගමක් නටන්න පටන් අරන්. මූණ ලස්සන කරගන්න කියලා රටේ නැති ක්‍රීම් ජාති ගෙනල්ලා ගානවලු. ව්‍යායාම ක්ලාස්, යෝගා ක්ලාස්, එතකොට සුම්බා ඔය හැම එකකටම යන්නත් පටන් අරන්.

කෘත්‍රිම නියපොතුවලට හානි වෙනවා කියලා ගෙදර වැඩත් ටිකෙන් ටික සැමියගේ කරටම පටවලා. ඒ මදිවට දරුවගේ අධ්‍යාපන කටයුතු කරන්නවත් බිරිඳට වෙලාවක් තිබුණේ නැහැලු. මේ බිරිඳ රැකියාවක් කරලත් නැහැ. ඉතින් ඇගේ මේ හැසිරීමෙන් ලොකුම බලපෑම ඇතිවෙලා තියෙන්නේ ගෙදර ආර්ථිකේට.

ඔන්න ඔහොම ඉන්නකොට ඇයව අඳුරගන්න බැරි තරමටම අස්වාභාවික විදියට සුදු වෙන්න අරන්. ගෙදර වියදමට දෙන සල්ලිවලින් බිරිඳ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහලා කියලා ඔහු දැනගෙන තියෙන්නේ පස්සේ. ඉතින් මේ බිරිඳ ඔහු අර කලින් විවාහ කරගත්තු කාන්තාව නෙමෙයි කියන එක ඔහුට දැනෙන්න පටන් අරන් තියෙන්නේ ඊටපස්සේ. ඇය තනිකරම පණ පිටින් ඉන්න බෝනික්කියක් වගේ කියලා සැමියා මාත් එක්ක කිව්වා. ‘මට බෝනික්කෙක් එපා මිස් මට ඕනේ මගේ වයිෆ්ව’’ කියලා සැමියා මාත් එක්ක කිව්වේ බොහොම කණගාටුවෙන්.

තමන්ගේ බිරිඳ හොඳ ඇඳුමක් පැළඳුමක් අඳිනවට ලස්සනට ඉන්නවට අකමැති මහත්වරුන් ඉන්නවනේ. ඉතින් ඔහුගේ පැත්තෙන් විතරක් කතාව අහලා අදහසක් ගන්න එක සාධාරණ නැති නිසා බිරිඳව මට මුණගස්වන්න කියලා මම ඔහුට උපදෙස් දුන්නා. ඊට පසු දිනක ඔහු බිරිඳව මගේ ළඟට කැඳවගෙන ආවා. බලනකොට කතාව ඇත්ත. අයි ලෙන්සස් දාලා, ඇහි පිහාටු දාලා, කොණේඩේ තද පාටින් පාට කරලා මේ බිරිඳ හරියට ජපන් බෝනික්කියෙක් වගෙයි. මුහුණට සැත්කම් කිහිපයක් කරගන්නත් ලෑස්ති වෙනවා කියලා ටිකක් වෙලා කතා කරද්දි ඇය මාත් එක්ක කිව්වා.

ගොඩක් බිරින්දෑවරු විවාහ වුණ හැටියේ තමන්ගේ රූ​ප සොබාව ගැන හිතන එක අතඇරලා දානවා. ඉතින් සැමියා අනියම් සබඳතා ඇති කරගත්තා කියලා ඊටපස්සේ ප්‍රශ්න. ඒ නිසා ගැහැනියක්, බිරිඳක් නිතරම පිරිසිදුවට, ලස්සනට, පිළිවෙලට ඉන්න ඕනේ. ඒක හරි. හැබැයි ඒ දේවල් ගැන වුණත් අනවශ්‍ය විදියට ඔලුවට ගත්තොත් ජීවිතේ සමබරකම නැති වෙන්න පුළුවන්. අනික ඒක ඇගේ පවුල් ජීවිතේටත් බලපානවා. මේ පවුලට වෙලා තිබුණෙත් ඒක.

ගැහැනුන්ට සීමා නැති නිදහස් ජීවිතයක් තියෙන්න ඕනේ. ගැහැනු ජීවිතේ විඳින්න ඕනේ. ඒකත් හරි. හැබැයි නිදහස කියන්නෙවත්, ජීවිතේ විඳිනවා කියන්නෙවත් ඇඟ​ පේන්න ඇඳුම් අඳින එකටවත් ශරීර සෞඛ්‍යට පවා අහිතකර දේවල් කරලා ලස්සන වෙන්න දඟලන එකටවත් නෙමේ. තමන්ට කැමති ඕනම ඇඳුමක් අඳින්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ. ඒත් එකපාරම තමන්ට නොගැළපෙන දේ කරන්න ගියාම ඒ කෙනාව සමාජයේ විහිළුවට පවා ලක්වෙන්න පුළුවන්.

අම්මා කෙනෙක් කිව්වහම අපේ හිතේ තියෙන්නේ මහ උතුම් හැඟීමක්. ඉතින් දරුවෙකුගේ ආත්මගෞරවය රැකගන්න අම්මා කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ අම්මව පාසලේ ගේට්ටුවෙන් ඇතුළට ගන්නේ නැතිකොට දරුවට ඇතිවෙන හැඟීම මොකක්ද? අනික මිනිස්සු දරුවොත් එක්ක අම්මගේ ඇඳුම්වල හොඳ නරක කියන්න පටන්ගත්තොත් දරුවෙක්ගේ හිතේ අම්මා ගැන තියෙන ගෞරවය නැතිවෙන්නත් බැරි නැහැ.

බිරිඳක් තමන්ගේ වගකීම් යුතුකම් පවා අමතක කරලා ලස්සන පස්සේ යනවා නම් ඒ පවුල් ජීවිතේ කොහොමත් අවුල් වෙනවා. ඒ වගේම අනවශ්‍ය විදියට ඒ දේවල්වලට මුදල් වැය කිරීම පවුලේ ආර්ථිකය කඩාවැටෙන්න හේතුවෙන බවත් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. බොහොම චාම්වට හිටපු බිරිඳක් එකපාර පොෂ් වෙන්න ගියාම සැමියාට ඒ බිරිඳ ගැන සැකයක් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා.

මේ කිව්ව කරුණු කාරණා මම ඇයටත් තේරුම් කළා. පෙර පාසලේදී ඇය හඳුනගත්තු අම්මලා කිහිපදෙනෙක්ගේ හැසිරීම් තමයි ඇය මේ විදියට අනුගමනය කරලා තිබුණේ. ‘‘ගෑනියෙක් වුණාම අනිත් අයට පේන්න ලස්සනට ඉන්න ඕනනේ’’ කියන එකත් ඇය මට කිව්වා.

පළවෙනි දේ රැල්ලට වගේ අනුන් කරන කරන හැම එකම කරන්න යන එක නුවණක්කාර වැඩක් නෙමෙයි. ඒ විලාසිතාව තමන්ට ගැළපෙනවද නැද්ද කියන එක මුලින්ම බලන්න ඕනේ.

දෙවැනි කාරණාව අපි ලස්සනට ඇඳලා කරලා ඉන්න ඕනේ අනිත් මිනිස්සුන්ට පේන්න නෙවෙයි. තමන්ගේ හිතේ සතුට වෙනුවෙන්. අනිත් මිනිසුන්ට පේන්න දේවල් කරන්න යන එකම මානසික පීඩනයක්.

චාම් ඇඳුමක් වුණත් ඒ ගැන තමන්ගේ හිත තෘප්තිමත් නම් එතැන තමයි සතුට තියෙන්නේ. අනික විවාහ වුණු බිරිඳකට සැමියෙකුට අංක එක වෙන්න ඕනේ තමන්ගේ සහකරුවා. සැමියගේ ආකර්ශණය තමන් ළඟ තියාගන්න බිරිඳක් දක්ෂ වෙන්න ඕන. එහෙම නැතුව සමාජයේ අනිත් උදවිය සතුටු කරන්න හිතාගෙන සැමියා අකමැති ඇඳුම් අඳිනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙන බව මම මේ බිරිඳට තේරුම් කළා.

සැමියා ආදරේ කළේ, ආකර්ශණය වුණේ ඇගේ පෙර තිබුණු රූපයට. ඉතින් බිරිඳගේ වෙනස්වීම ඔහුට දරාගන්න බැරි වීම ගැන පුදුමයක් නැහැ කියන එකත් මම ඇයට කිව්වා.

ඒ වගේම තමන් කැමති දේම නෙවෙයි බිරිඳගේ ආශාවන්ට, කැමැත්තටත් ගරු කරන්න සැමියාටත් යම් වගකීමක් තියෙන වග මම ඒ සැමියාටත් පැහැදිලි කළා. ඉතින් ඒ කරුණු කාරණා වටහාගෙන ඇදුම් පැළඳුම්වලත් යම් වෙනසක් කරගෙන අලුත් ජීවිතයක් පටන්ගන්න මේ දෙපළ තීරණය කළ බවත් අවසානෙදි කියන්න ඕනේ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි