ප්‍රීතිමත් ජීවිතයකට

පුතාගේ ලිංගික හැසිරීම්වලින් සතුටක් නැති බව ලේලි නැන්දම්මට කියලා

‘‘බඳින්න කලින් අපි මාස තුනක් යාළුවෙලා හිටියා. ඒ කාලේ එයාගේ පුදුම හොඳක් තිබුණේ. තරම් හොඳ කෙනෙක් මට නැතිවෙයි කියන බයටමයි මම එයාව ඉක්මනටම කසාද බැන්දේ. ඒත් දැන් එයා හරිම වෙනස් මිස්.’’

ඊයේ පෙරේදා දවසක උපදේශනයට ආව එක සැමියෙක් එහෙම කියද්දී ‘සිනා සිසී කිව්වත් පැණි පෙරෙන කතා – මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා’ කියන පරණ කවිය ඉබේටම වගේ මට මතක් වුණා.

මේ සැමියට තිබුණේ ගොඩක් දෙනෙක් ආදර සබඳතා ඇතුළේ සහ විවාහ ජීවිත ඇතුළේ මුහුණ දෙන ගැටලුවක්. ඔහුගේ කතාව අද මාතෘකාවට ගන්න හිතුවේ ඒකයි. කතාව කියන්න ලේසියටත් එක්ක මම ඔහුව නඳුන් කියලා හඳුන්වන්නම්.

ඒ වෙනකොට නඳුන් විවාහ වෙලා හරියටම අවුරුද්දයි. බඳින්න කලින් අර කිව්වත් වගේ මේ බිරිඳ ඔහු ගැන සෑහෙන හොයලා බැලුවලු. නිතරම කෑමබීම පවා උයාගෙන ගෙනැල්ලා දෙනවලු. ඔන්න ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ විවාහය දවසේ.

විවාහය දවසේ මේ බිරිඳ තමන්ගේ පැත්තෙන් විවාහයට ආපු ඥාති හිතමිතුරන්ට වැඩි තැනක් දීලා. මේ සැමියගේ නෑයන්ව ගාණකටවත් අරගෙන නැහැ. මේ ප්‍රශ්නේ නිසාම මඟුල දවසෙම නඳුන්ගේ අම්මා එක්කත් මේ බිරිඳ ගැටලුවක් ඇති කරගෙන. විවාහයෙන් පස්සේ මේ දෙන්නා වෙනම පදිංචි වෙලා. එතැන ඉඳලා තමන් ජීවත් වුණේ අපායක කියලා තමයි නඳුන් මට කිව්වේ. මේ බිරිඳ නඳුන්ට කතා කරන්නේ බොහොම සැරපරුෂ විදිහටලු. ඒ වගේම ඇයට නිතරම තරහා යනවලු.

‘‘තරහා ගියාම යකෙක් ආවේශ වෙලා වගේ ගෙදර බඩු මුට්ටු පවා පොළවෙ ගහනවා.’’

බිරිඳගේ පුදුමාකාර කේන්තිය ගැන නඳුන් පැහැදිලි කළේ එහෙමයි.

ඒ වගේම බිරිඳගේ හැම වැඩක්ම කරලා දීලා තියෙන්නේ නඳුන්. ඇගේ වැඩ කරගන්න අවශ්‍ය තැන්වලදි බොහොම යාප්පුවෙන් ඒ දේවල් කරගන්නත් ඇය කටයුතු කරලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි බිරිඳ නිතරම තමන්ව පහත් කරලා කතා කරනවා කියලත් ඔහු කිව්වා. සැමියගේ ලිංගික හැසිරීම් ගැන ඇය තෘප්තිමත් නැති බවත් ඒ ගැන ඔහුගේ මවට කියනවා කියලත් නඳුන්ව නිතරම වගේ බය කරලා.

මේ කිව්ව කාරණාවලට අමතරව නඳුන් ඔහුගේ බිරිඳගේ වැරදි ගොඩක් මාත් එක්ක විස්තර කළා. නඳුන් හිටියේ මහ විශාල පීඩනයක බව ඔහුගේ ඒ කතාබහෙන්ම මට තේරුණා.

ඔහු මගේ ළඟට ඇවිල්ලා තිබුණේ විවාහය නිසා ඇතිවෙච්චි පීඩනයට උපදේශනයක් ගන්න මිසක් විවාහ උපදේශනයක් ගන්න නෙමෙයි. බිරිඳව වෙනස් කරන්න බැහැ කියන එක තමයි නඳුන්ගේ මතය වුණේ.

ඔය කිව් කරුණු කාරණා සලකලා බලද්දි නඳුන් ඉන්නේ විෂ සහිත විවාහයක (Toxic Marriage) කියන එක මට තේරුණා. ඉතින් ඒ වගේ දේකදි පීඩනයට ලක්වෙන සහකරුවට විතරක් උපදේශනය දෙන එක ගඟට ඉනි කපනවා වගේ වැඩක්. ඒ නිසා ​මොන උප්පරවැට්ටිය දාලා හරි බිරිඳව මගේ ළඟට එක්කරගෙන එන්න කියලා මම කිව්වා.

මනෝ විද්‍යාවේදී අපි විෂ සහිත මිනිසුන් (Toxic People) කොට්ඨාසයක් ගැන කතා කරනවා. මේ කියන අයගේ අපි දකින පොදු ලක්ෂණ කීපයක්ම තියෙනවා.

පළමුවැන්න මේ අය තමන්ගේ සහකරුවා සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්නවා දකින්න කැමතියි. ඉතින් ඒ නිසා සහකරුවාව විවේචනය කරන්න, මානසිකව වට්ටන්න නිතරම වගේ ඔවුන් එක එක ප්‍රයෝග ක්‍රියාත්මක කරනවා. අවිශ්වාසය වගේම ඊර්ෂ්‍යාවත් ඔවුන් තුළ තියෙනවා. ඒ විතරක් නෙමේ සහකරුවා නිතරම වගේ මේ විෂ සහිත පුද්ගලයාට අවධානය දෙන්න ඕනේ. නැත්නම් විනාශයි. තමන්ගේ සහකරුවා මත යැපෙන එක විෂ සහිත අයගේ තව ලක්ෂණයක්. ​මේ අයට ද්විත්ව චරිත රඟපාන්නත් පුළුවන්. වෙලාවකට බොහොම හොඳයි. ඒ වගේම වෙලාවකට බොහොම ප්‍රචණ්ඩයි. නපුරුයි.

සාමාන්‍යයෙන් මේ අය සබඳතා ඇති කරගන්නේ ආත්ම අභිමානය තරමක් අඩු එය එක්ක. මොකද එයාලව පාලනය කරන්න පහසුයි කියන එක ඔවුන් දන්නවා.

ආදර සබඳතාවකදී නැතනම් විවාහ ජීවිතයකදී අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට සහකරුවෙක්. ඒ සහකරුවා එක්ක එකතු වෙලා ගෙවන ජීවිතය ආදරණීය, සැනසිලිදායක, සෞඛ්‍යසම්පන්න සබඳතාවයක් වෙන්න ඕනේ. ඒත් විෂ සහිත පුද්ගලයෙක් එක්ක ඉන්න කෙනෙක්ට ඒ සම්බන්ධතාවයෙන් උරුම වෙන්නේ බය, සැකය, කාංසාව, විශාදය, මානසික අවපීඩනය, අසරණකම, අනාරක්ෂිතතාව වගේ දේවල්. මොකද මේ පුද්ගලයා ඊළඟට මොකක් කරයිද කියන අනපේක්ෂිත හැඟීමක් සහකරුවාට නිතරම දැනෙනවා. කොටින්ම කිව්වොත් මේ වගේ කෙනෙක් එක්ක පවුල් කන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඉතින් මනෝ වෘත්තිකයින් විදියට අපි උපදෙස් දෙන්නේ එවැනි විෂ සහිත සබඳතාවලින් ඉවත් වෙන්න කියලයි. මොකද මේ කියන තත්ත්වය මනෝ උපදේශනය මගින් වුණත් යටපත් කරන්න අපහසු වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් විවාහ වුණාට පසසේ එහෙම ආවට ගියාට විවාහය අතඅරින්නත් බෑනේ. ඒ නිසා උත්සාහ කරන එක වැදගත්. මනෝ උපදේශනය අසාර්ථක වුණොත් නඳුන්ගේ බිරිඳව මනෝප්‍රතිකාර වෙත යොමු කරනවා කියන අදහසෙයි මම හිටියේ. ඉතින් කිව්වා වගේම නඳුන් දවසක් ඔහුගේ බිරිඳව මගේ ළඟට එක්කරගෙන ආවා.

මේ බිරිඳ මාත් එක්ක නම් බොහොම හෘදයාංගම විදියට කතා කළා. තනියම ටික වෙලාවක් කතා කරනකොට ඇගේ කුඩා කාලය බොහොම කටුක එකක් බව මට තේරුණා. මේ බිරිඳගේ පියත් විෂ සහිත ලක්ෂණ තිබුණු පුද්ග‌ලයෙක්. පියා නිසා මේ බිරිඳගේ මව අකාලයේ සියදිවි හානි කරගෙන. එදා ඉඳලා ඇය හැදිලා වැඩිලා තියෙන්නේ පියාත් එක්ක.

මිනිස්සු කවුරුත් උපදිනකොටම විෂ සහිත මිනිස්සු වෙලා ඉපදෙන්නේ නැහැ. පුංචි කාලෙදි මුහුණදෙන ප්‍රශ්න, සමාජයෙන් හරි තැනක් නොලැබීම, අපයෝජනවලට ලක්වීම වගේ හේතු නිසා තමයි ඔවුන් වුණත් ඒ තැනට පත්වෙන්නේ.

ඉතින් උපදේශන සැසි වාර හත අටකට පස්සේ නඳුන්ගේ බිරිඳගේ මේ කියන තත්ත්වය තරමක් දුරට යටපත් කරන්න මට පුළුවන් වුණා. ඒක ගැන මටත් හරි සතුටුයි. ඒ වගේම සතුටින්, ආදරෙන් පවුල් ජීවිතේ ගත කරන්න අවශ්‍ය උපදෙස් ටිකකුත් මේ දෙපළට මම ලබාදුන්නා.

ප්‍රේම සම්බන්ධයක් පටන්ගනිද්දී ගොඩක් අය බලන්නේ සහකරුවගේ රූපය ගැන. හරි එහෙම බලලා හරි යාළු වුණයි කියමුකෝ. යාළු වෙච්ච හැටියේ විවාහයකට නොයා සහකරුවගේ සහකාරියගේ හැසිරීම් රටා සියුම්ව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඔය කියන විෂ සහිත ලක්ෂණ අඳුනගන්න අමාරු නැහැ. එහෙම ගැටලු තියෙන බව තේරෙනවා නම් ඉක්මනින්ම ඔහුව හෝ ඇයව මනෝ උපදේශනයකට යොමු කරන්න. ඒ කරලත් ඒ ගති යටපත් කරන්න බැහැ කියලා දැනෙනවා නම් හොඳම දේ ඒ සබඳතාවයෙන් ඈත්වෙන එක. ඒ මුකුත්ම නොකර බැන්දට පස්සේ මේ අයගේ මේ ගති ඉබේම යටපත් වෙයි කියලා හිතන එක නම් දවල්ට තරු පායනකල් බලන් ඉන්නවා වගේ වැඩක් කියලයි කියන්න තියෙන්නේ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි