ප්‍රීතිමත් ජීවිතයකට

ෂ්… ෂ්… කාටවත් කියන්නෙපා මගේ හස්බන්ඩ් මාර ගොඩයෙක්

දවසක් මගේ උපදේශන සේවයට ආවා කසුන් කියලා විවාහක තරුණයෙක්. ඔහු ටිකක් දුරබැහැරක කෙනෙක්. ඒ වගේම මහන්සිවෙලා උත්සාහයෙන් ජීවිතේ ජයගත්තු ව්‍යාපාරිකයෙක්.

ඉතින් වයස තිස් ගණනකුත් පනිනකල් කසුන් පරස්තාවක් ගැන හිතලා තිබුණෙ නැහැ. එහෙම ඉඳිද්දි ඔහුගේ මිතුරෙක් තමයි ඔහුට නිශාදිව යෝජනා කරලා තියෙන්නේ.

නිශාදි නගරබද පළාතක ජීවත් වුණු කෙනෙක්. ආර්ථික අතින් ඒ තරම් ස්ථාවර පවුලක නොවුණත් ඇය බොහොම රූමත්ලු. ඒ වගේම ඇගේ ගතිගුණත් හොඳයි කියලා හිතුණු නිසා කසුනුත් ඇයට කැමති වෙලා.

විවාහයෙන් පස්සේ මේ දෙපළ මහල් නිවාස සංකීර්ණයක පදිංචියට ගිහින්. ඔන්න එතැන ඉඳලා තමයි කතාව පටන්ගන්නේ.

මාසයක් දෙකක් යනකොට නිශාදි මහල් නිවාස සංකීර්ණයෙන් හිතවතුන් පිරිසක් ඇති කරගෙන. ඒ හැමෝම නවීන පන්නෙට ජීවත්වෙන ඉංග්‍රීසියෙන් කතාබහ කරන උදවියලු. ඉතින් ටික දවසකින් ඇයත් ඒ අය වගේ අඳින්න පළඳින්න, කතාබහ කරන්න විතරක් නෙමෙයි ඔවුන් එක්ක නිතරම එළිපහලියට යන්නත් පටන් අරන්. ඒ වගේම මේ පිරිස කසුන්ගේ නිවසේ නිතරම සාද පවත්වලත් තියෙනවා. ගොඩක් වෙලාවට ඒ දේවල්වලට වියදම් වෙලා තියෙන්නේ කසුන්ගේ මුදල්.

කසුන් ඒ තරම් සමාජශීලී පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම ඔහුට වැඩිය ඉංග්‍රීසි කතා කරන්නත් බැහැ. ඒ නිසා ඔහු මේ පිරිසට වැඩිය මුහුණදීලා නැහැ. ඒත් දවසක් මේ අයගේ බල කිරීමට කසුනුත් ඔවුන් එක්ක සුපිරි හෝටලයක රාත්‍රී කෑමට ගිහිල්ලා. හැඳි ගෑරුප්පු භාවිතය හුරු නැති නිසා කසුන් එතැනදී අතින් කෑම කන්න පටන් අරන්.

මේක දැකපු නිශාදි ඒ වෙලාවේ සෑහෙන පරල වෙලා තියෙනවා. අනිත් අයට නොපෙනෙන විදියට ඇය ඔහුව කොනිත්තලා පැත්තකට එක්කරගෙන ගිහිල්ලා, ‘‘අර මිනිස්සු ඉස්සරහා මාව ලැජ්ජා කරන්න එපා ගොඩයෝ’’ කියලා කසුන්ට බැනලා. බිරිඳගේ හැසිරීම නිසා හිත රිද්දගත්තු කසුන් ඒ වෙලාවෙම ගෙදර ආවා කියලයි ඔහු කිව්වේ.

ඒ සිදුවීම නිසා කසුන් නැවතත් නිශාදිගේ යාළුවන්ට මුහුණදීලා නැහැ. ඒ වගේම මේ බිරිඳත් පස්සේ යාළුවන්ට ඔහුව හඳුන්වා දෙන්නත් මුණගස්වන්නත් අදිමදි කරලා තියෙනවා.

ඒ වගේම ‘‘ඔයාව මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. මම මහ මෝඩ වැඩක් කරගත්තේ’’ වගේ කතාත් ඇය නිතරම කියනවා කියලා මේ සැමියා මාත් එක්ක කිව්වේ බොහොම කණගාටුවෙන්.

බිරිඳත් එක්ක කතා කරන්න ඉඩහසර හදලා දෙන්න පුළුවන් නම් මට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම කසුන්ට කිව්වා.

ඔහොම මාසයක් දෙකක් ගතවෙනකොට කසුන් ඔහුගේ බිරිඳත් එක්ක නැවත මාව මුණගැහෙන්න ආවා. කිව්වා වගේම නිශාදි බොහොම රූමත් නවීන පන්නයට අඳින පළඳින ප්‍රියමනාප කාන්තාවක්. කසුන්ට ටිකක් එළියෙන් ඉන්න කියලා මම ඇයත් එක්ක කතා කරන්න පටන්ගත්තා.

‘‘මම හරිම සමාජශීලී කෙනෙක්. ඒ වුණාට මගේ හස්බන්ඩ් මාර ගොන්. මෙයාව අනිත් මිනිස්සුන්ට පෙන්නන්නත් ලැජ්ජයි.’’ කියලා කටත් උලුක් කර කර අමුතු ස්වරයකින් තමයි ඇය මාත් එක්ක කිව්වේ.

හැම මනුස්සයෙක්ටම හැමදේම බැහැනෙ. හැබැයි ඒ දේවල් ඉගෙනගන්න පුළුවන්. ඉතින් සැමියට ඉංග්‍රීසි කතා කරන හැටි, හැඳි ගෑරුප්පු පාවිච්චි කරන හැටි එහෙම උගන්වන්න උත්සාහ කළාද කියලා මම ඇගෙන් ඇහුවම ඇය කිව්වේ ‘‘අනේ ඕවට මට වෙලාවක් නැහැ’’ කියන එකයි.

වෙලාවක් නැතිකමටත් වඩා ඇයට එහෙම උවමනාවක් තිබිලා නැහැ. සැමියව සමාජයට පෙන්නන එක ලැජ්ජාවක්, මදිපුංචිකමක් වුණත් සැමියට බැරි ඒ දේවල් තමන්ට පුළුවන් කියන එක තුළිනුත් ඇය මානසික තෘප්තියක් ලබාගන්න බව තමයි මට තේරුණේ.

ටිකක් වෙලා කතා කරනකොට ඇගේ ස්වරය වෙනස් වෙන බව මට තේරුණා. ඊටපස්සේ ඇය ඇගේ ජීවිතේ බොහොම සංවේදී සිදුවීම් කිහිපයක්ම අඬ අඬා මාත් එක්ක කිව්වා.

මේ බිරිඳ පුංචි කාලේ ඉඳලා දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණදීපු යුවතියක්. ඒත් අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන කවදකහරි ධනවත් පුද්ගලයෙක් එක්ක විවාහ වෙනවා කියන හීනයත් ඇගේ හිතේ තිබුණලු. මේ මංගල යෝජනාවට එකපයින් කැමතිවෙලා තියෙන්නෙත් ඒකයි.

ඉතින් ඇය කැමති විදියේ ජීවිතයක් ඇයට ලැබිලා තියෙන නිසා සැමියා එක්ක ආදරණීය විවාහ ජීවිතයක් ගත කරන්න ඕනේ කියන එක මම ඇයට පැහැදිලි කළා. පස්සේ ඇයත් ඒ දේවල් පිළිගත්තා. මගේ ඉදිරියේදීම ඇය සැමියගෙන් සමාව පවා ඉල්ලුවා.

ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා හෝ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න බැරි නිසා හෝ වෙන මොකක්ම හරි අඩුපාඩුවක් නිසා සැමියව/බිරිඳව පහත් කරන සහ සමාජයට පෙන්නන්න පැකිළෙන මේ වගේ අය ඕනතරම් ඉන්නවා.

දෙන්නෙක් විවාහ වෙන්නේ දුර ගමනක් එකට යන්න. එතැනදි සහකරුවගේ මොන අඩුපාඩුව තිබුණත් ඔහුගේ/ඇයගේ අතින් අල්ලගෙන මේ ඉන්නේ මගේ සැමියා/බිරිඳ කියලා කියන්න පුළුවන් තැන තමයි ආදරේ තියෙන්නේ.

තවත් සමහරු ඉන්නවා තමන්ගේ සහකාරයාගේ අඩුපාඩු පිට මිනිස්සු ඉස්සරහත් කියවන. වෘත්තීය මනෝ උපදේශිකාවක් විදියට මම නම් කියන්නේ ‘‘ඔයාගේ ඇඳුම හරි නෑ, කොණ්ඩේ ඇදයි, මේකප් වැඩියි’’ වගේ පුංචි දෙයක්වත් පිට අය ඉස්සරහා කියන්න එපා. ඒකෙන් අර සැමියා/බිරිඳ වගේම අනිත් පුද්ගලයත් අපහසුතාවයට පත්වෙන්න ඉඩ තියෙනවා.

මතක තියාගන්න කෙනෙක් තමන්ගේ සහකරුවගේ අඩුපාඩුවලට හිනාවෙනවා නම් ඒ හිනාවෙන්නේ තමන්ටමයි. මොකද සැමියා/බිරිඳ කියන්නේ තමන්ගේම තෝරාගැනීමක්. ඉතින් අර හිනාවෙන්නේ තමන්ගේම තෝරාගැනීමටනේ.

අනිත් දේ තමයි මේ වගේ අය ගැන සමාජයෙත් වැරදි චිත්‍රයක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද තමන්ගේම සහකරුගේ අඩුපාඩු හොයන කෙනාට පිටස්තරයෙක්ගේ අඩුපාඩු හොයන එක මහ කජ්ජක්ද?

සාමාන්‍යයෙන් බිරියන්ටත් වඩා මේ වැඩේ කරන්නේ සැමියන්.තමන්​ගේ බිරිඳව කිසිම විටක නින්දාවට අවමානයට පත් නොකළ යුතුයි’ කියලා සිඟාලෝවාද සූත්‍රයෙත් සඳහන් වෙනවා.

සාමාන‍්‍යයෙන් කාන්තාවන්ට තාක්ෂණය සම්බන්ධ කාරණා වටහාගන්න ටිකක් අපහසුයි. ඒ ඔවුන්ගේ මොළයේ ස්වභාවය. ඔය වගේ කාරණාවලදිත් සමහර සැමියන් ‘‘අපෝ ඔයා මොනවද අනේ දන්නේ’’ වගේ කතා කියනවා.

දුරදිග නොහිතා කියන ඒ වගේ පුංචි දේකින් වුණත් කෙනෙක්ගේ ආත්ම අභිමානයට හානියක් ​ඇතිවෙන්න පුළුවන්. කාන්තාවොත් ඉන්නවා සැමියට උයන්න, තේ ටිකක් හදාගන්න දන්නේ නැහැ කියලා ඔහුව නිතර ලැජ්ජාවට පත්කරන.

මම කියන්නේ සැමියා/බිරිඳ නොදන්න දේවල් ගැන ඔවුන්ට ආදරෙන් උගන්වන්න. එහෙම නැතුව මම දන්න දේ එයා දන්නේ නැහැ කියලා ඒක කියව කියවා ලොකුකමක් පෙන්නන්න නැත්නම් අපි කතාවට කියනවා වගේ පොර වෙන්න දඟලනවා නම් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක විතරයි කියලත් මතක තියාගන්න.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි