විශේෂාංග

වචනෙ වැරදුණු ගමන් රෙදි පොට්ටනි ගහගෙන ගෙදර දුවන නෝනලා වෙතටයි…

වසන්ත සහ නිල්මිණී කියන්නෙ දික්කසාද වෙන්න පිඹුරුපත් හද හද ඉඳපු යුවළක්. අවුරුදු හයක හතක පුංචි දුවෙකුත් ඉන්න නිසා මේ ගැන ආයෙත් ටිකක් හිතන්න කියලා මේ දෙපළව මගේ ළඟට යොමු කරලා තිබුණේ දරුවගේ පංතිභාර ගුරුතුමිය.

ඒ වෙනකොට මේ යුවළ විවාහ වෙලා අවුරුදු අටක් විතර ​ඇති. සැමියට පවුලෙන් ලැබුණු නිවසක තමයි මේ දෙන්නා ඒ වෙනකොට ජීවත්වෙලා තිබුණේ. විවාහ වෙච්ච මුල් කාලේ කිරියි පැණියි ගානට හිටියට බැඳලා මාස හය හතක් යනකොට දෙන්නා අතරේ නොයෙකුත් රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් අරගෙන. ඒවත් මහලොකුවට ඇදුණු ඒවා නෙවෙයි කියලා තමයි සැමියා කිව්වේ.

ඔහොම රණ්ඩු වෙන පාරක් ගානේ මේ බිරිඳ ඇඳුම් ටිකක් පොට්ටනි බැඳගෙන ඇයගේ මහගෙදර යනවලු. ඊටපස්සේ දවසකට දෙකකට පස්සේ මේ සැමියා ගිහින් ඇයව එක්කරගෙන එන්න ඕනෙලු.

‘‘ප්‍රශ්නයක් කතා කරන්න බැහැ, වැරැද්දක් කියන්න බැහැ පොඩ්ඩ ඇත්නම් රෙදි ටික පොට්ටනි ගහගෙන මහගෙදර යනවා.’’

ඒ ගැන සැමියා මාත් එක්ක කිව්වෙ ඔහොම.

‘‘අපේ දුවව අපිට වැඩි නැහැ. හැමදාම වුණත් කන්න බොන්න දෙන්න පුළුවන්’’ වගේ මතයක තමයි නිල්මිණීගේ අම්මලත් ඉඳලා තියෙන්නේ.

හැබැයි දරුවෙක් ලැබුණම මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා වසන්ත හිතුවලු. බැඳලා අවුරුද්දක් විතර යද්දි දරුවෙක් හදන්න තීරණය කරලා තියෙන්නෙත් බිරිඳගේ මේ නෙයියාඩගම එතැනින් හරි නතර වෙයි කියලා හිතාගෙන. හැබැයි වසන්ත හිතපු විදියට දරුවා ලැබුණට පස්සෙත් ප්‍රශ්නේ විසඳිලා නැහැ. රණ්ඩුවක් වුණු හැටියේ නිල්මිණී දරුවවත් කරගහගෙනම මහගෙදර යන්න පටන්ගත්තලු. හොඳම වැඩේ කියන්නේ මේ බිරිඳ සැමියා එක්ක රණ්ඩු වුණු හැටියේ මහගෙදර යන්නම කියලා ස්ටෑන්ඩ්බයි ඇඳුම් සූට්කේස් එකකුත් ලෑස්ති කරලා තියෙනවලු.

‘‘මෙයා හරියට ගෙදර යන්නේ ට්‍රිප් යනවා වගෙයි’’ කියලා සැමියා මාත් එක්ක කිව්වේ කට කොණකින් නෝක්කාඩුවට වගේ හිනාවෙලා.

ඔහොම රණ්ඩුවෙලා ගෙදර ගිය එක්වතාවක ‘‘ඕන එකක් කරගත්තාවේ’’ කියාලා හිතලා වසන්ත නිල්මිණීව එක්කරගෙන එන්න ගිහිල්ලා නැහැ. කොහොමින් කොහොමහරි ඔය විදියට මාසයක් විතර ගත වුණාලු. ඔන්න ඊටපස්සේ නිල්මිණී, ‘‘ඒ මිනිහා මාව බලන්නේ නැහැ. දැන් වෙන ගෑනියෙක් ඉන්නවා’’ වගේ කතා වසන්තගේ ගෙදර උදවියටයි, යාළුවන්ටයි හැමෝටම කියලා තියෙනවා. ඔන්න ඒ පාර වසන්ත ගිහිල්ලා ඇයව ගෙදර එක්කරගෙන ආවලු.

ඒත් මේ ප්‍රශ්නේ මෙතැනින් නතර වෙලා නැහැ. දැන් නිල්මිණීයි දරුවයි ගෙදර ඉන්නවට වඩා ඉන්නේ මහගෙදරලු. ඔය අතරේ වසන්ත රාජකාරි ස්ථානයේ කාන්තාවක් එක්කත් ඇයිහොඳයියක් ඇති කරගෙන. පස්සේ ඔහු නිල්මිණීව ගෙදර එක්කරගෙන එන්න ඔහුත් ලොකු අවාධනයක් දීලා නැහැ.

අම්මගෙයි තාත්තගෙයි මේ කඹ ඇදිල්ල නිසා තැලු​නේ අර පුංචි දුව. නිල්මිණීගේ මහගෙදර තිබිලා තියෙන්නේ ටිකක් දුරබැහැරක. ඉතින් දරුවව අරගෙන මහගෙදර යන දාට දරුවට ඉස්කෝලෙ යන්න වෙන්නේ නැහැ. දරුවගේ පැමිණීම හොඳටෝම දුර්වල නිසා තමයි පංතිභාර ගුරුතුමිය මේ ගැන විපරම් කරලා තියෙන්නේ. දික්කසාද වෙන්න එකඟතාවකට ඇවිල්ලා තිබුණු යුවළ ගුරුතුමියගේ කීම අහකට දාන්න බැරිකමට තමයි මාව මුණගැහෙන්න ඇවිල්ලා තිබුණෙත්.

ජීවිතේට එන බාධක, ගැටලු වගේ දේවල් බෙදාහදාගෙන මියයනතුරා දෙන්නා එකට ජිවත් වෙනවා කියලා විවාහ වෙනකොට යම් ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් රණ්ඩු වෙන වෙන සැරේට මහගෙදර දුවනවා නම් ඒ වගේ ප්‍රතිඥාවක් දෙන එකේ තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ.

ගෙදර පොඩි ප්‍රශ්නයක් ඇති වුණත් මහගෙදර දුවන්නේ ඇයි කියලා මම මේ බිරිඳගෙන් ඇහුවා. ‘‘බඳින්න කලින් අපි කොච්චර සතුටින් හිටියද? බැන්දට පස්සේ අපි අතර නිතරම අනවශ්‍ය කතාබහ ඇතිවෙනවා. වචනෙකින්වත් එයා මගේ හිත රිද්දනවට මම ආස නැහැ. ඒකයි මම ගෙදර යන්නේ.’’ එතකොට ඇය මට දුන්නු උත්තරය ඕක.

විවාහ ජීවිතේකට ඇතුළු වෙන්නේ පවුල් පරිසර දෙකක හැදුනු එකිනෙකට වෙනස් දෙන්නෙක්. ඉතින් විවාහ වෙන්න කලින් නොතිබුණු ප්‍රශ්න, විවාහයෙන් පස්සේ ඇතිවෙන එක බොහොම සාමාන්‍යයයි. ඒ දේවල් කළමනාකරණය කරගන්න අඹු-සැමි දෙන්නටම වගකීමක් තියෙනවා. අනික ප්‍රශ්නයක් ඇති වුණහම ඒකට විසඳුමක් හොයනවා ඇර ඒකෙන් පැනලා යන එක නෙමේ හපන්කම.

දැන් බලන්න ඕන එකටයි, එපා එකටයි හැම එකටම ගෙදරින් යන්න තියාගත්තු එකේ ප්‍රතිඵලය විදියට මේ සැමියා අනවශ්‍ය සම්බන්ධකමක පවා පැටලිලා. බිරිඳ ගෙදරින් ගිය ගමන් වෙනත් සබඳතා ඇති කරගත්ත සැමියා හරියි කියලා මම කියන්නේ නැහැ. ඒත් මෙතැනදී ඒ සැමියට වගේම බිරිඳටත් ඒ සම්බන්ධව වරැද්දක් තියෙන බව මම ඇයට පැහැදිලි කළා. ඒ වගේම සැමියගේ හැසිරීමත් සාධාරණ නැති බව මම ඔහුටත් පැහැදිලි කරලා දුන්නා.

දුරදිග නොබලා කළ මේ දේවල් දරුවගේ අනාගතයටත් අධ්‍යාපනයටත් බලපානවා කියන එකත් මම දෙදෙනාටම පහදලා දුන්නා. ඒ වගේම දෙමාපියන්ගේ මේ හැසිරීම් දරුවන් පවා ආදර්ශයට ගන්නා බව මතක තියාගන්න ඕනේ.

පොඩ්ඩ ඇත්නම් මහගෙදර හරි යාළුවෙක්ගේ ගෙදර හරි දුවන බිරින්දෑවරුන් විතරක් නෙමේ සැමියනුත් ඉන්නවා. මේ වගේ දේවල් නිසා තමන්ගේ සැමියා බිරිඳ ගැන ඒ පාර්ශවයන්වල පුද්ගලයන් පවා වැරදි චිත්‍රයක් මවාගන්න බව අමතක කරන්න එපා.

තමන්ගේ දුව හරි පුතා හරි පුංචි දේටත් නිතර නිතර කදමළු බැඳගෙන ගෙදර එනවා නම් ‘මගේ දරුවා මට වැඩි නෑ’ කියලා බාරගන්නේ නැතුව ප්‍රශ්නය මොකක්ද කියලා හොයලා බලලා නිසි විසඳුම් හොයාගන්න ඔවුන්ට උදව් කරන එක වැඩිහිටියන්ගේත් වගකීම.

මම මේ කියන්නේ බැඳගත්තු බෙරේ ගහන්නම ඕනය කියන එක නෙමේ. මොකද පොඩ්ඩ ඇත්නම් බිරිඳගේ දත් ගැලවෙන්න ගහන, තමන්ගේ ගෙදර අයිතිවාසිකම් කිය කිය, ඉන්න බැරිනම් බැහැලා පලයන් කියලා බිරිඳව මානසිකව වට්ටන සැමියොත් ඕනතරම් ඉන්නවනේ. ඒ වගේ හිංසනයක් සිද්ධවෙනවා නම් ඒවට නිසි පියවර ගන්න දෙපාරක් හිතන්න එපා. හැබැයි පවුල ඇතුළේ ඇතිවෙන පුංචි පුංචි දේවල් ලොකුවට අරන් නිතරම මහගෙදර දුවන එකෙන් පස්සට බොහොම සංකීර්ණ ගැටලු ඇතිවෙන්න බැරි නැහැ.

කසාද ජීවිතේ කියන්නේ මනුස්සයෙකුගේ දෙවැනි උපත කියනවනේ. හැබැයි දැන් ගොඩක් දෙනාට කසාද ජීවිතේ කියන්නේ දවසකට තුන්හතර පාරක්වත් මැරි මැරි උපදින තැනක්. සැමියගේ බිරිඳගේ සිත රිදවන කෙනෙක් නෙවේ ඔහුට/ඇයට ශක්තියක් දෙන කෙනෙක් වෙන්න. ගතින් වගේම හිත්වලිනුත් ආදරෙන් බැඳෙන්න. අපි ජීවත්වෙන්නේ බොහොම පොඩි කාලයක්. ඉතින් ඒ කාලේ දෙන්නා එකතු වෙලා යන ගමන සතුටින් එකට යන්න කියන එකයි මට කියන්න ඕනේ.

මේ කිව්ව කාරණා මම මේ බිරිඳටත් සැමියාටත් පැහැදිලි කළා. දෙන්නගේ පොඩි පොඩි ප්‍රශ්නවලට ආයෙත් ගෙදර දුවන්නේ නෑ කියලා බිරිඳ සැමියට පොරොන්දු වුණා. ඒ වගේම බිරිඳගේ හිත රිදෙන වචන නොකියා ඇයට බොහොම කාරුණිකව සළකන්න මගේ ඉදිරියේදිම ඒ සැමියාත් ඇයට පොරොන්දු වුණා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි