විශේෂාංග

පිරිමින්ට පොඩ්ඩක් බුරුල දුන්නොත් උන් අපේ කරේ යනවා

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

අද මගේ කතාවට ප්‍රස්තුත වන යුවළ පැතුම් සහ නිලූකා ලෙසින් හඳුන්වමි.

විවාහ වී දැනට මාස අටක් පමණ ගතවී ඇති බවත්, තම පියා ගෙන ආ මංගල යෝජනාවකට අනුව නිලූකාව විවාහ කරගත් බවත් පැතුම් කියා සිටියේ කතාවට අත්පොත් තබමින්ය.

ඒ වනවිටත් ඔහු සිටියේ නිලූකාගෙන් වෙන්වෙන චේතනාවෙනි. නමුත් ඇගේ මාපියන්ගේ බලවත් පෙරැත්තය නිසා මා හමුවට පැමිණි බව ඔහු කීවේය.

මෙයා ගෑනියෙක් නෙවෙයි මිස්. ගෑනු වේෂයෙන් ඉන්න යකින්නියක්.”

පැතුම් තවදුරටත් කීවේ නිලූකා දෙස බලා ඔලොක්කුවට මෙන් සිනහ නගමින්ය.

ඔහුට සවන්දුන් මම එසේ පැවසීමට හේතුව කුමක්දැයි පැතුම්ගෙන් විමසීමි.

අපේ ගෙදර හිටියේ මායි, තාත්තයි විතරයි. තාත්තගේ බලකිරීම නිසා තමයි මම මේ කසාදේ කරගත්තේ. ඒත් එහෙමයි කියලා මම මෙයාට ආදරේ නොකළෙත් නැහැ.”

පැතුම් දෙස නෙත් අගින් බලමින් නිලූකාද ඔහුගේ කතාවට සාවධානව ඇහුම්කන් දුන්නාය.

බැඳපු දවසේ ඉඳලම හොස්ස ළඟින් මැස්සා යන්න බෑ. කොක්කක් වගේ මාත් එක්ක ඇමිණෙන්නම බලාගෙන ඉන්නවා.”

පැතුම්ගේ නිවසේ ජීවත්ව තිබුණේ පැතුම්, නිලූකා සහ ඔහුගේ පියා වන සුමනසිරි පමණකි.

උදේ ඉඳලා රෑ වෙනකල් මොකක්ම හරි හේතුවක් හොයාගෙන මාත් එක්ක පැටලුනු එකමයි මෙයා කළේ. තාත්තට ඇහුණොත් ඒ මනුස්සයටත් වේදනයිනේ. ඒ නිසා මෙයා මොනවා කිව්වත් මම ඉවසගෙන හිටියා.”

මෙය නිලූකාගේ සාමාන්‍ය ගති සොබාවයකැයි සිතූ පැතුම් මුලදී මේ පිළිබඳව එතරම් තැකීමක් කර තිබුණේද නැත.

ටික දවසක් යනකොට මෙයා රණ්ඩු කරන ගමන් ගෙදර බඩු මුට්ටු පොඩිපට්ටම් කරන්නත් පටන්ගත්තා. මෙයා මේ සේරම කරන්නේ අර නල්ලමලේ අක්කගේ කීමට කියලා පස්සේ තමයි මට තේරුණේ.”

පැතුම්ගේ ඒ කතාවෙන් නිලූකාගේ මේ හැසිරීමට තුන්වන පාර්ශවයක අතපෙවීමක් තිබෙන බව පැහැදිලි විය. ඒ නිසාම පැතුම් පවසන මේ ‘නල්ලමලේ අක්කා’ කවුරුදැයි මම ඔහුගෙන් විමසීමි.

වෙන කවුද ඉතින්, මෙයාගේ අක්කා මිසක්. ඒ ගෑනිත් මාස හයෙන් මඟුල කඩාගෙන ගෙදර ඇවිල්ලනේ. දැන් ඉතින් මේ මඟුලත් කඩන්න දත කනවා.”

පැතුම් පැවසුවේ අවේගශීලීවය. නිලූකාගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී ඇත්තේද නිවසින් ගෙන ආ මංගල යෝජනාවකට අනුවය. විවාහ වී මාස කිහිපයකින්ම ඇගේ සැමියා ඇයගෙන් වෙන්ව තිබිණී.

දවසක් මගෙත් එක්ක රණ්ඩු කරලා මෙයා කාමරේට ගිහින් කොල් එකක් ගත්තා. හිතේ සැකේට මමත් මෙයාගේ පස්සෙන් ගිහින් ඒකට ඇහුම්කන් දුන්නා. ‘අක්කා කියන දේ හරි. මුන්ට බුරුල දුන්නොත් මුන් අපේ කරේ යන්න එනවා කියලා මෙයා අර ගෑනිට කියනවා මගේ කනටම ඇහුණා.”

ඉන්පසු සහෝදරිය සමඟ සිදුවූ සංවාදය තමා අසා සිටි බවත්, මින් මතු ඇයගෙන් අවවාද, උපදෙස් නොගන්නා ලෙසත් පැතුම් නිලූකාට තරමක් තදින් පවසා ඇත.

මම අර අම්මණ්ඩිට දොස් කිව්වා විතරයි, මෙයා මේසේ උඩ තිබුණු වීදුරු මල් වාස් එකක් අරන් මගේ ඔලුවට ගැහුවා. මගේ ඔලුව පැලිලා ලේ බේරෙන්න පටන් ගත්තා. ඒ ගහපු පාර තදින් වැදුනා නම් එදා මම මැරෙනවා.”

එකෙනෙහිම මට නිලූකා දෙස බැලුණේ නිරායාසයෙන් මෙනි. බැලූ බැල්මට සැරපරුෂ පෙනුමක්ද ඈ තුළ නොවූයෙන් සහෝදරියගේ අවවාද උපදෙස් ඇගේ මේ ප්‍රචණ්ඩකාරී හැසිරීමට හේතු වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.

කෙසේ වෙතත් නිලූකා මෙන්ම තමා ද සමාජ අපවාදයට ලක්වේ යැයි සිතූ පැතුම් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී තිබුණේද නැත.

ගෑනුන්ට ගහලා වීරයෙක් වෙන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා එදා මම ඉවසුවා. ඉවසීමක් නැති මිනිහෙක් නම් මෙයාව එතනම මරලා හිරේ ගිහින්. අනික ගෑනිගෙන් ගුටි කන එකෙක් කියලා කයි කතන්දර අහගන්නත් බැරි නිසා මම දන්න අඳුරන ඩොක්ටර් කෙනෙක්ගෙන් ඔලුවට බෙහෙත් දාගත්තා.”

තමා කළ ක්‍රියාවේ බරපතළකම ඒ වනවිටත් වැටහී තිබුණු නිසාදෝ නිලූකා තවදුරටත් මුනිවත රැක්කාය.

ඔලුවේ බෙහෙත් බැඳන් ඉන්නකොට මේ ගැන තාත්තා දැනගත්තා. අද මල්වාස් එකකින් ගැහුව ගෑනි හෙට මන්නා පිහියකින් වුණත් ගහන්න දෙපාරක් හිතන්නේ නැති නිසා මෙයාගෙන් අයින් වෙන්න කියලා තාත්තත් මට කියනවා.”

පැතුම් ඔහුගේ කතාව කියා අවසන් කළ විගස සැමියා මෙතෙක් වෙලා පැවසූ සියල්ල සත්‍යදැයි මම නිලූකාගෙන් විමසා බැලුවෙමි.

ඔව්, ගහලා බැනලා හරි හස්බන්ඩ්ව අපිට ඕන විදිහට හදාගන්න ඕනෙ කියලා අක්කා තමයි මට කිව්වේ. එයාගෙ පවුල කැඩුණෙත් මිනිහව ආම්බාම් කරගන්න බැරිවුණු නිසා කියලා එයා නිතරම වගේ කියනවා.”

කතාබහ අවසානය වනවිටත් නිලූකා ඇයගේ දුර්වලතාවය මැනවින් තේරුම්ගෙන සිටි නිසා උපදේශන මගින් ඇයව හොඳ ආදරණීය බිරියක් කිරීමට අපහසු නොවීය. එසේම පැතුම්ගේ සිතේ ඇවිලෙමින් තිබූ කෝප ගින්න නිවා දමා ඔවුන් නැවත ආදරණීයව එක්කිරීමටද මට හැකි විය.

අද කතාවෙන් මට මතු  කරලිය යුතු පළමු කාරණාව සැමියාව ආන්ඩු මට්ටු කිරීමට යාම හෝ අතපය එසැවීමට යාම යහපත් බිරිඳකගේ ලක්ෂණයක් නොවන බවය. එවැනි දෙයකින් පවුලක සමගිය, සතුට රැකගැනීමට හැකිවේ යැයි සිතීම පවා විහිළුසහගතය.

තම සැමියා, බිරිඳ තමාට අතට හසුවන ඕනෑම දෙයකින් පහර දෙන බවට මැසිවිලි නගන අඹු-සැමියන් මේ සමාජයේ ඕනෑතරම්ය. සැමියාට, බිරිඳට තබා තවත් කිසිඳු මනුෂ්‍යයෙකුට පහරදීමට කිසිවෙකුට කිසිඳු අයිතිවාසිකමක් නොමැති බව තරයේ සිතට ගත යුතුය. ඒවා දුරදිග යන නීතිමය ගැටළුවලට පවා අතවැනීමක් විය හැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

පවුල් සංස්ථාවක් අතර ඇතිවන ආරවුලකදී සැමියා බිරිඳට හෝ බිරිඳ සැමියාට පහර දීම අතිශය අමානුෂික ක්‍රියාවක් ලෙස මං දකිමි. එවැනි ගැටළු කලබගෑනියකින් තොරව සුහදව සාකච්ඡා කර විසඳාගත හැකි නම් කසාදයත්, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවයත් දෙකම රැකගත හැකි බව පැවසිය යුතුය.

මෙවැනි සිදුවීමකදී ප්‍රහාරයට ලක්වන්නාගේ රිදුණු ගත ක්‍රමයෙන් සුවපත් වුවත් කාලාන්තරයක් යනතුරුත් ඒ බිඳුනු සිත සුවකිරීම පහසු නැති බව වටහාගත යුතුය.

සැමියාට, බිරිඳට පහරදෙන අයවළුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සමස්ත සමාජයේම විවේචනයට ලක්වන අතර, ඔවුන්ගේ පෞරුෂය පිළිබඳවද වැරදි චිත්‍රයක් සමාජගත වීම වළකාලිය නොහැකිය. පවුලක සාර්ථකත්වය රඳා පවතින්නේ ආදරය, කරුණාව මත මිසක ප්‍රචණ්ඩත්වය මත නොවන බව වටහා ගැනීම වැදගත්ය.

එසේම මේ කතාව තුළ මා තේරුම් කිරීමට උත්සාහ කරනා අනික් කරුණ නම් තමාට කොයිතරම් සමීප අයෙකු වුවත් පවුල් ජීවිතයට හවුල් කරගත යුතු නැති බවය.

දෙපාර්ශවයේ පවුල් අතර ඇති බැඳීම විවාහ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන බව අවිවාදයෙන් යුතුවම පිළිගත යුතුය. කාරණාව එසේ වුවත් තමාගේ මව, පියා, සහෝදර, සහෝදරියන් සමඟවත් පවුල් ජීවිතය පිළිබඳව සාකච්ඡා කිරීමට සහ උපදෙස් ලබාගැනීමට යාම මනෝවිද්‍යා උපදේශිකාවක ලෙස මම අනුමත නොකරමි.

සොඳුරු පවුල් ජීවිතයක් උදෙසා උපදෙස් අවශ්‍ය යැයි සිතන්නේ නම් ඒ සඳහා නිසි උපදේශන සේවාවක් වෙත යොමුවීම වඩා ආරක්ෂිත බව වටහාගත යුතුය.

කෙසේ නමුත් මේ කතාවේ එන නිලූකාගේ සහෝදරියද පසුදිනෙක මා හමුවට පැමිණි අතර, ඇගේ ඉදිරි ජීවිතය යහපත් කරගැනීම උදෙසා ඇයටත් උපදේශන ලබාදීමට හැකිවීම සතුටක්ය.